ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව ගත් පියවර කාදිනල් හිමිපාණන් හෙළාදකී

නව ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගෙන පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල වූ ප්‍රහාරය සම්පූර්ණම හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙම සිදුවීම මගින් ජනතාවට ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩ කර ඇති බවයි.
අද පස්වරුව වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් වන බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදීත් එල්ල කර ලද ප්‍රහාරය හේතුවෙන් අනාගතයේ කිසියම් අනර්ථකාරී සිදුවීමක් සිදුවුවහොත් ඊට ජනාධිපතිවරයා වගකිව යුතු බව ද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.
අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිය භාරයට ගනු ලැබුවා. එහිදී පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කර තිබුණේ අද අලුයම 12.30ට පමණයි.
එහිදී අරගලකරුවන් පාලනය කිරීමට යාමේදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.
ගාලු මුවදොරට ඇතුළුවන සියලු මාර්ග, අවහිර කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.
පසුව ආරක්ෂක අංශ විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අවට පරිශ්‍රය සිය භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.
එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කැළණිය, ඇඹිලිපිටිය, ජා ඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව හා නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26ත් 58ත් අතර පසු වන්නන් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published.