ජනපති සහ විපක්ෂ නායක අතර හමුවක්

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා සමග සුහදව අදහස් හුවමාරු කරගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ව්‍යසනකාරී තත්වයෙන් රට ගලවා ගැනීම සඳහා ප්‍රගතිදායක ලෙස සහය වීමට සූදානම් බව එහිදී ජනාධිපතිවරයාට දැන්වූ බවයි ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ.
ජාතික සහයෝගීතාවයක් වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ශක්තිමත් කිරීමට සහය දෙන බවද සජිත් ප්‍රේමදාස ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු පක්ෂ නායක රැස්වීම ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානයට ලක්ව ඇතැයි සඳහන්.
ජනාධිපතිවරයාගේ සහ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
කෙසේ වෙතත්, ඊට ජාතික ජනබල වේගය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු එක්ව නොසිටි බවයි වාර්තා වන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පක්ෂ නායක රැස්වීමේදී, නව ආරම්භයක් ලෙස පාර්ලිමේන්තු සැසිවාරය පැය 24කට කල්තබා යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර, ඊට සියලු පක්ෂ නායකයින් එකඟත්වය පළ කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් බලාත්මක කිරීමට කටයුතු කරන බවයි.
දැනට පවතින අමාත්‍ය මණ්ඩලය කෙටි කාලසීමාවක් සඳහා පවත්වාගෙන යන අතර, ඉදිරියේදී අවශ්‍ය සංශෝධන සිදුකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර, ජනාධිපතිවරයා තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව යමින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වනවා.
නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පත් කිරීමේදී විදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා නව අමාත්‍යවරයෙකු පත් කිරීමටද ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.