ගාලුමුවදොර අරගල පිටිය උණුසුම්

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එහි පිවිසුම අවහිර කරමින් සිටි අරගලකරුවන් සහ අට්ටාල ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

අද අලුයම පොලීසීය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ එම පිවිසුමෙන් ඉවත් වන ලෙසට අරගලකරුවන්ට දැනුම් දී ඇත.

ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිකර නොගන්නා ලෙසත් එසේ නොවුණහොත් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් ආරක්ෂක අංශ එහිදී නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවද පසුව පිරිස පාලනය කිරීමේදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර කලහකාරී තත්වයක් හටගෙන තිබුණි.

පහරදීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම ඇතුළු ප්‍රදේශය ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල  ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවය. 

එමෙන්ම ඔවුන්ගේ අට්ටාල වෙත ද ප්‍රහාර එල්ල කළ බව අරගලකරුවන් වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ළහිරු වීරසේකර සදහන් කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් මහජන සාමය පවත්වාගෙන යාම සදහා අද සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් මගින් නියමයන් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.