ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය මෙරටදී අද ඇරඹේ

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය අද (28) මෙරටදී ආරම්භ වේ.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම විශේෂ සමුළුව සහ සංවත්සර සමරු උළෙල අද සිට ලබන දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

සමාරම්භක උත්සවය ඇතුළු වැඩසටහන් සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන් වෙත විශේෂ ආරාධනා සිදුකර තිබුණි.

ලොව පුරා ථේරවාද, මහායාන සහ වජ්‍රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූ හා භික්ෂුණීන්   වහන්සේ 5,000කට ආසන්න පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 500 නමක් එක්වීමට නියමිතව ඇත.

ඊට අමතරව 800කට ආසන්න දෙස් විදෙස් ගිහි නියෝජිත පිරිසක් ඊට එක්වෙති.

1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ කරන ලද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ අවසන් සභාවාරය 2024 වසරේ දී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවැත්විණි.

මෙම සංවත්සරයට සමගාමීව ලෝක සාමය පතා සංවිධානය කරනු ලබන විශේෂ පූජා වැඩසටහන නොවැම්බර් 30 වනදා සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම දෙසැම්බර් 1 වනදා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රකර ගනිමින් විශේෂ ආගමික වතාවත් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *