යුක්රේනය සහ රුසියාව අතර ගිවිසුමක් අත්සන් කෙරේ

කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කරමින් රුසියාව සහ යුක්රේනය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
මෙම ගිවිසුමට එළඹීමත් සමග මේ වන විට පවතින යුධමය වාතාවරණය හමුවේ යුක්රේනයේ සිරවී ඇති ධාන්‍ය ටොන් මිලියන ගණනක් අපනයනය කිරීමට ඉඩ සැලසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව යුක්රේනය ආක්‍රමණයෙන් පසු අපනයනය නතර වීම හේතුවෙන් ධාන්‍ය හිඟය හමුවේ මිලියන ගණනක් සාගින්නෙන් පෙළීමේ අවදානමට ලක්ව ඇතැයි සඳහන්.
කෙසේ වෙතත්, යුක්රේනය රුසියාව සමඟ සෘජු ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබු බව ද වාර්තා වනවා.
මෙම ගිවිසුම අත්සන් තැබීමේ විශේෂත්වයක් වන්නේ දෙපාර්ශ්වයම ඉස්තාන්බුල්හි පැවති අත්සන් තැබීමේ උත්සවයට සහභාගී වූ නමුත් එකම මේසයේ අසුන් නොගැනීමයි.
රුසියාවේ ආරක්ෂක අමාත්‍ය Sergei Shoigu මුලින්ම මොස්කව් ගිවිසුමට අත්සන් තැබූ අතර යුක්රේන යටිතල පහසුකම් අමාත්‍ය Oleksandr Kubrakov විසින් යුක්රේනය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබනු ලැබුවා.
එක්සත් ජාතීන්ගේ, තුර්කි, රුසියානු සහ යුක්රේන කාර්ය මණ්ඩලයෙන් සමන්විත සම්බන්ධීකරණ සහ අධීක්ෂණ මධ්‍යස්ථානයක් ඉස්තාන්බුල් හි ස්ථාපිත කිරීමට නියමිතව ඇති මෙම ගනුදෙනුවට එළඹීමට මාස දෙකක් පමණ ගතවුණා.
මෙම ගිවිසුම දින 120ක් වලංගු වන අතර දෙපාර්ශ්වය එකඟ වුවහොත් එය අලුත් කළ හැකියි.
යුක්රේනයේ ධාන්‍ය අපනයනය අවහිර කිරීම ගෝලීය ආහාර අර්බුදයකට හේතු වී ඇති අතර පාන් සහ පැස්ටා වැනි තිරිඟු මත පදනම් වූ නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති අතර ආහාර පිසින තෙල් සහ පොහොර මිල ද ඉහළ යාමට ලක්වුණා.
කෙසේ වෙතත්, යුක්රේනය පවසන පරිදි රුසියානු නාවික හමුදාව ධාන්‍ය සහ අනෙකුත් අපනයන නැව්ගත කිරීම වළක්වන අතර රුසියානු හමුදා යුක්‍රේන ගොවිපලවලින් ධාන්‍ය සොරකම් කරන බවට ද චෝදනා එල්ල වනවා.

Leave a Reply

Your email address will not be published.