විරෝධතා ගැන ජනපතිගේ ස්ථාවරය කියයි

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය සිකුරාදා (22) රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය.

නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම වත්මන් රජය විසින් තහවුරු කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබානොදිය යුතු  බවට ඇමරිකානු සිවිල් නිදහස් සංගමය ලබාදුන් උපදෙස්වල සඳහන් බවද ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ව දීර්ඝ වශයෙන් දැනුවත් කර තිබේ.

විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ බලප්‍රදේශය තුළ පිහිටි පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබාදෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගෝඨාගෝ ගම’ විරෝධතා අඩවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ කරුණු අසත්‍ය බවත්, එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත් මෙහිදී පැහැදිළි කර තිබේ.

තවද, පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සියලුදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද නීතිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙත මෙම හමුවේදී දැනුවත් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.