හොරට පෙට්‍රල් ගහන්න ආ යතුරුපැදිය අංක තහඩුවේ ඇණයෙන් හසුවෙයි.

නොර්වුඩ් නගරයේ පිහිටි මස්කෙලිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලෙන් ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් පෙට්‍රල් ගැනීමට පැමිණි යතුරුපැදිකරුවකු නොර්වුඩ් පොලිසිය විසින් (23) දින අත්අඩංගුවට ගෙන ඇත.

එම ඉන්ධන පිරවුම්හලට (23) දින පෙට්‍රල් ලිටර් 3,300ක් නිකුත් කර තිබූ අතර, වාහනයේ අංක තහඩුවේ අවසාන අංක වන 0 සිට 3 දක්වා වාහනවලට සීමා සහිතිව නිකුත් කිරීමට එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ගම්පොල ප්‍රදේශයේ පදිංචි සැකකරු (27) ඔහු රැගෙන පැමිණි යතුරුපැදියට ව්‍යාජ අංක තහඩුවක් ප්‍රදර්ශනය කරමින් ඉන්ධන ගැනීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නොර්වුඩ් පොලිසියේ නිලධාරීන්ට යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව සවි කර තිබු ඇණයක් බුරුල් වී ඇති බව නිරික්ෂණය වීමෙන් අනතුරුව පසුව එම යතුරුපැදියේ ලියකියවිලි පරික්ෂා කිරීමේදී ඉන්ධන ගැනීම සදහා වෙනත් යතුරුපැදියක අංක තහඩුවක් සවිකරගෙන පැමිණ ඇති බවට තහවුරු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, සැකකරු නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සේවය කරන අයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැරි බවත්, ව්‍යාජ අංක තහඩු ප්‍රදර්ශනය කරමින් යතුරුපැදිය ධාවනය කිරිමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.