නිවෙස්වල තනිවම සිටින කතුන් මරා දේපොළ කොල්ලකෑම් වැඩි වෙලා

නිවෙස්වල හුදෙකලාව සිටින කාන්තාවන් ඝාතනය කර දේපොළ කොල්ලකෑම්වල යම් ඉහළ යෑමක් මේ වන විට වාර්තා වෙමින් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙම මාසය තුළ මෙතෙක් ගෙවී ගිය කාලය තුළදී පමණක් කාන්තාවන් 06 දෙනෙකු ඝාතනය වී තිබේ. මහනුවර, කැලණිය, මාතලේ, කුරුණෑගල යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඝාතන වාර්තා වේ.

ඝාතන 05ක්ම කොල්ලකෑම් වෙනුවෙන් සිදුව ඇති බව තහවුරු වී ඇතත් මහනුවර වෙල්ලම්බොඩ සිදුවූ වියපත් කාන්තා ඝාතනයට හේතුව නිශ්චිත ලෙස මෙතෙක් තහවුරු වී නැතැයි පොලීසිය කියයි.

මේ සෑම කාන්තාවක්ම සිය නිවසේ තනිවම සිට ඇති බවත් ඒ අය ඝාතනය කර නි‍ෙවසේ ඇති මුදල් සහ රන් භාණ්ඩ වැඩි වශයෙන් කොල්ලකෑම්වලට ලක්ව තිබෙන බව පොලිස් තොරතුරුවල සඳහන්ය.

මෙම මාසය තුළ වාර්තා වූ කාන්තා ඝාතන 06න් 03ක් විසඳීමට පොලීසිය සමත්ව ඇත. ඒ මාතලේ පොලිස් කොට්ඨාසයේ සිදුවී ඇති ඝාතන දෙකක් සහ කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ පොල්ගහවෙල සිදු වූ එක් ඝාතනයකි.

Leave a Reply

Your email address will not be published.