මන්දිරවලින් සොයාගත් ඇඟිලි සටහන් රැසක් අපරාධකරුවන්ගේ

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව එම ස්ථානවලින් ගත් ඇඟිලි සටහන් රැසක් අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු හා සැසඳෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

 ජනාධිපති මන්දිරයටත් ජනාධිපති ලේකම් කාර්යාලයටත් අරලියගහ මන්දිරයටත් අරගලකරුවන් කඩා වදින්නේ ඉකුත් 09 වැනිදාය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අරගලකරුවන් කඩා වැදී තිබුණේ 13 වැනිදාය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ එක් දිනකට වඩා අරගලකරුවන් රැඳී නොසිටි අතර සෙසු ස්ථාන තුන දින ගණනාවක්ම අරගලකරුවෝ අත්පත් කරගෙන සිටියහ. එම කාලය තුළ එම ස්ථානවලට හානි සිදුවී තිබුණු අතර දේපොළ රැසක්ද අතුරුදන්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන පවත්වනු ලබයි.

එම විමර්ශන කණ්ඩායම් ඒ සෑම ස්ථානයකටම ඇඟිලි සලකුණු අංශය කැඳවා එහි සටහන්ව ඇති ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදුකර තිබේ. එහිදී ඇඟිලි සලකුණු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත. ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් මන්දිර දෙකේත් ලේකම් කාර්යාල දෙකේත් අස්සක් මුල්ලක් නෑරම සියුම් පරීක්ෂාවන්ට ලක්කරමින් ඇඟිලි සටහන් සොයාගෙන තිබෙන බව සඳහන්ය.

එසේ සොයාගත් ඇඟිලි සටහන් කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි අපරාධ ලේඛනාගාරයේ ඇඟිලි සටහන් පද්ධතියට ඇතුළත් කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ලියාපදිංචි අපරාධකරුවන් රැසකගේම ඇඟිලි සලකුණු හා සැසඳෙන ඇඟිලි සටහන් ඒ අතර ඇති බවය.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ එම ඇඟිලි සටහන්වලින් හඳුනාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published.