නායයෑමට ලක්ව අවහිර වූ බදුල්ල – පස්සර මාර්ගය යළි විවෘත කෙරේ

ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්  ඊයේ (25)  රාත්‍රියේ  බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් හා ගස් කඩාවැටීම නිසා අවහිර වූ මාර්ගය යළි වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කෙරුණු බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.

වැසි කාලවලදී පසුකඳු කඩා වැටීමෙන් නිතර අවහිර වන මාර්ගයක් වශයෙන් බදුල්ල – පස්සර මාර්ගය හඳුනාගෙන ඇත. මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන වැසි තත්වය යටතේ ප්‍රවේශමෙන් වාහන ධාවනය කරන ලෙසත් කඳු බෑවුම් සහිත මාර්ගවල ගමන් කිරීමේදී දැඩි අවධානයකින් යුතුව රිය පදවන ලෙසත් පොලිසිය මහජනතාවගෙන ඉල්ලා සිටී.

බදුල්ල – පස්සර  ප්‍රධාන මාර්ගයේ වේවැස්ස 5 කණුවට ආසන්න ප්‍රදේශයේදී පස් කන්දක් සමග ගස් කඩා වැටීමෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබූ අතර මෙම අවහිරතාවයන් කඩිනමින් ඉවත් කර යළිත් මාර්ගය ප්‍රකෘති තත්වයට පත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හා ආපදා සහන සේවක පිරිස් යුහුසුළුව කටයුතු කළ අතර වර්ෂාව පැවැතියත් මෙම කටයුතු  කඩිනමින් සිදුකිරීම තුළින් මෙම මාර්ගයේ අවහිරතාවයන් වහාම ඉවත්කිරීමට හැකිවූ බවද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.