අරගලකරුවන්ට අලුත් තැනක් දෙන්න ඇමති ප්‍රසන්නගෙන් යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු තවදුරට ත් අරගලය පවත්වා ගෙන යාමේ කිසිදු පදනමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අද (ජූලි 27) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයේ ඉවත් වීම සිදුව තිබියදීත් තවදුරට ත් මෙම අරගලය පවත්වා ගෙන යාමේ කිසි ම පදනමක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. හරි නම් ඔවුන් අරගලය අවසන් කර එම භූමියෙන් ඉවත් විය යුතුව තියෙනවා.”

ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ පාරාදිසයක් බවට අරගල භූමිය මේ වන විට පත්ව ඇති බව ය.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල නම් කර ඇති උද්ඝෝෂණ පැවැත්වීමේ ස්ථානය අරගල කිරීමට සුදුසු ස්ථානයක් නොවන බව ඔහු පැවසීය.

වහා ම එම ස්ථානය ඉවත් කර ඒ සඳහා වෙනත් ස්ථානයක් ලබා දිය යුතු බව පැවසූ අමාත්‍යවරයා යෝජනා කළේ, විරෝධතාකරුවන්ට රැඳී සිටීමට විහාරමහාදේවී උද්‍යායන සුදුසු ස්ථානයක් බව ය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.

“නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි ජනාධිපති ලේකම් කාර්යාලට යාබදව උද්ඝෝෂණ පැවැත්වීමේ ස්ථානය ලෙස නම්කර ඇති භූමිය ඒ සඳහා කිසිදු ආකාරයකින් සුදුසු ස්ථානයක් නොවන බව පසුගිය කාලය තුළ දී සිදුවු සිදුවීම් මගින් යළිත් තහවුරු වී තියෙනවා. විෂයභාර ඇමතිවරයා ලෙස මගේ අවධානය මේ සඳහා යොමු වී ඇති බව සභාවට දැන්වීමට කැමතියි. එබැවින් වහා ම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානය එතැනින් ඉවත්කර වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ලබාදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මෙතැන තියෙනවා විහාරමහාදේවී පාක් එක. එතැන හොඳයි. විපක්ෂ නායකතුමාගේ කාර්යාලයට ළඟයි. ඔබතුමාට නිතර සම්බන්ධතා තියාගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අතන ආර්ථික මරමස්ථානයක් නිසා මේ රටේ සංචාරක ක්ෂේත්‍රයට බලපාන නිසා, පොදු ජනතාවට තියෙන ස්ථානයක් නිසා ඒ ස්ථානය ඉවත් කරලා මෙතැනට අරන් එන්න ඕනේ කියන යෝජනාව මම ගේනවා.”

Leave a Reply

Your email address will not be published.