“ඉදිරියේදී තෙල් මිල දී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක” – මහ බැංකු අධිපති

ඉදිරි කාලය සඳහා ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවත්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ, විද්‍යුත් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ලබන මාසය සඳහා ඩීසල් නැව්ගත තොග 3කට සහ පෙට්‍රල් නැව්ගත තොග 2කට මේ වන විට මුදල් ගෙවා ඇති බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ අතර එය ලබන මාසයේ මුල් කොටස සඳහා ප්‍රමාණවත් වන බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

විදෙස් රටවලින් ණය පහසුකමක් සම්බන්ධ උදව්වක් තිබුණහොත් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන මගින් ස්ථාවර වැඩපිළිවෙළකට අවතීර්ණ වුවහොත් ඉන්ධන ගැටලු සම්බන්ධයෙන් ද ස්ථාවර වැඩපිළිවෙළකට පැමිණිය හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

මාසයකට තෙල් සඳහා පමණක් ඩොලර් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් වැය වන බව ද දැනට පවතින ගැටලුව මේ වන විට සංචිත බොහෝ සෙයින් අඩු මට්ටමක පැවතීම බව ද හෙතෙම එහිදී සඳහන් කළේ ය.

මෙරට විදේශ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් වන අතර එයින් අපනයනවලින් බිලියන 1ක් ද, ප්‍රේෂණවලින් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් ලැබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළ අතර ගැටලුව අපනයනකරුවන් උපයන මුදල බැංකු ක්‍රමය හරහා රට තුළට සම්පූර්ණයෙන් නොපැමිණීම බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

පසුගිය මාස කිහිපයක කාලය නිරීක්‍ෂණය කිරීමේදී අපනයනකරුවන් ඩොලර්වලින් සියයට 20ක පමණ ප්‍රමාණයක් පමණක් රුපියල්වලට පරිවර්තනය කර ඇති බව නිරීක්‍ෂණය වන බව මහ බැංකු අධිපතිවරයා එහිදී පවසා සිටි අතර එය සාමාන්‍යයෙන් සියයට 40ක ප්‍රමාණයක් විය යුතු බව ද පවසා සිටියේ ය.

අපනයන ආදායම, ප්‍රේෂණ ඇතුළු විදේශ ආදායම් බැංකු ක්‍රමය හරහා රට ඇතුළට ගෙන ඒමට හැකි නම් තෙල් පිළිබඳ ගැටලුව විසඳිය හැකි බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published.