ධානීෂ් අලී කුරුඳුවත්තට

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් ධානීෂ් අලි නමැත්තා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.
මේ වන විට ඔහු කුරුදුවත්ත පොලීසිය භාරයේ පසු වන අතර, අද (27) පෙරවරුවේ ඔහුව අධිකරණය වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණා.
31 හැවිරිදි කුරුණෑගල – වෑබඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට යානයේ අසුන් ගෙන සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
එහි දී ගුවන් යානයේ සිටි මගීන් ඊට විරෝධය පළ කළා.
කොටුව සහ ගාලුමුවදොර ප්‍රදේශවල සිදු කළ විරෝධතාවන්ට සමගාමීව ඊට පිරිසක් පසුගිය 13 වන දා ජාතික රූපවාහිනියට ඇතුළු වී එහි සජීවී ව පෙනී සිටිමින් තර්ජනාත්මක ව ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් විකාශන කටයුතු තාවකාලික ව අත්හිටුවීමට සිදු වුණා.
එමෙන්ම සැකකරු ජුනි මස 20 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශ නියෝජිතයින් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේ දී එම අමාත්‍යාංශයේ ගේට්ටු අවහිර කරමින් විරෝධතාවක නිරත වීම සම්බන්ධයෙන් වරෙන්තු ලැබූ පුද්ගලයෙක්.
මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර අධිකරණයේ පෙනී නො සිටීම සම්බන්ධයෙන් සැකකරුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, මොහු පසුගිය ජුනි මස 9 වන දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවය අතුරතුර දී පොදු දේපල වලට අනර්ථයක් සිදු කිරිම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබූ පුද්ගලයෙකු ද වනවා.
මීට අමතර ව ජුනි මස 12 වන දා ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිත ව විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානයේ දී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට පහර දී ඔවුන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමේ සිද්ධියේ ද සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
මේ අතර, පසුගිය 20 වන දා ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට අනර්ථයක් සිදු කරන බවට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය කොටුව පොලිසියේ නිලධාරින්ට තර්ජන කර ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරවීමට අදාල සිද්ධියට අවශ්‍ය සිටි පුද්ගලයෙකු ලෙසද මොහු හඳුනාගෙන තිබෙනවා.
සැකකරු ගුවන් යානයේ සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඊට බාධා එල්ල කළ මගීන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර, අධිකරණ නියෝග කඩ කරමින් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනා මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
මේ අතර, ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාවයේ නිරත වන පිරිස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ හමු වුණා.

Leave a Reply

Your email address will not be published.