රූපවාහිනියට බලෙන් පැන්න දානිෂ් රටින් පනිද්දී ප්ලේන් එකේදී කොටු වෙයි

ජාතික රූපවාහිනියට ඉකුත් 9 වැනි දා කඩා වැදී බලහත්කාරයෙන් සජීවී වැඩසටහනකට සම්බන්ධ වූ අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු ඩුබායි රටට පලායෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්යානයකට ඇතුළුව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරකට අනුව කටුනායක ගුවන්තොටුපොළේ ඩුබායි බලා පිටත්වීමට සූදානමින් තිබූ යූ. එල් 225 දරන ගුවන්යානයේ මොහු අසුන්ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

රූපවාහිනියට කඩා වැදීම සම්බන්ධයෙන් මොහු ඇතුළු පිරිසට විරුද්ධව පෙරේදා (25) කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. සැකකරු මෙසේ රටින් පලායෑමට සූදානම් වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රොෂාන් අලී ඩානිෂ් අලී නැමැති 31 හැවිරිදි අයෙකි. මොහු මාවතගම පොලිස් වසමේ මැල්වත්ත ඉලුකේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ වන විට දෙමට ගොඩ ඔහුගේ බිරියගේ නිවසේ පදිංචිව සිට ඇත.

මොහුට සහෝදරයන් දෙදෙනකු සහ එක් සහෝදරියක් සිටින බවට හෙළිව තිබේ. එකොළහ වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති ඔහු පාපන්දු ක්‍රීඩාව මෙන්ම දේශපාලනය ද කළ අයෙකි. මොහුගේ පියා දෙමළ ජාතිකයකු වන අතර 1980 වසරේ විවාහයෙන් පසු මුස්ලිම් ආගම වැළදගත්තෙකි. ඔහු මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට තර්ජනයක් වන පවුලක් බවට පොලිසිය හඳුනාගෙන ඇති අන්තවාදී අදහස් දරන්නෙකි.

Leave a Reply

Your email address will not be published.