ඉන්දීය යූරියා මිටි 100ක් මහඔය ගොවි සමිතියක් හොරපාරෙන් විකුණලා

පරීක්ෂණයක් කරන්නැයි ඇමැති අමරවීරගෙන් නියෝග

ඉන්දීය රජය විසින් දුන් යූරියා පොහොර ගොවීන් වෙත බෙදා දීමට භාර ගත් අම්පාර මහඔය ප්‍රදේශයේ ගොවිජන සංවිධානයක් එම පොහොර තොගයෙන් පොහොර මිටි 100කට අධික ප්‍රමාණයක් වැඩිමිලට විකිණීමට වෙළෙඳසලකට දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් අරඹන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

මේ පිළිබඳ මහඔය පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දීය රජය විසින් මෙරටට දුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 44,000 පළමු තොගයෙන් පසුගිය 24 දා වන විට නැඟෙනහිර පළාතට මෙට්‍රික් ටොන් 4,250ක් බෙදා හැර තිබූ අතර, එයින් මහඔය මේ ගොවි සංවිධානයට යූරියා පොහොර මිටි 322ක් දී තිබිණි. මෙයින් පොහොර මිටි 100කට අධික ප්‍රමාණයක් අදාළ වෙළෙඳසලට හොරපාරෙන් දී තිබූ අතර රුපියල් 12,000කට වැඩි මුදලකට ඒවා ගොවීන් වෙත අලෙවි කර තිබූ බව පොලිසිය කළ විමර්ශනයකදී හෙළිවූ බව නැඟෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතා කීය.

Leave a Reply

Your email address will not be published.