අගෝස්තු අග වන විට ඖෂධ ගැටළුවට විසදුම්

ඉදිරි අගෝස්තු අග වන විට මෙරට ඖෂධ ගැටළුව බොහෝ දුරට විසඳෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වන විට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා (Mizukoshi Hideaki) හා යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ නියෝජිත පිරිසක් හමුවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජපන් ජනතාව විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක ඖෂධ හා උපකරණයන්හි පළමු තොගය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර ගැනීමේ අවස්ථාවේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.

මෙම ඖෂධ අධි රුධිර පීඩනය,දියවැඩියාව,හෘද,වකුගඩු හා අක්මා සංකූලතා යන රෝග සඳහා ලබා දෙන අතර විශේෂයෙන් ගර්භණී මව්වරුන් සදහා අවශ්‍ය දියවැඩියා ඖෂධ හා කැල්සියම් ආදී විටමින් වර්ග මෙම ඖෂධ තොග අතර වේ. මෙම පළමු තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ හත්දහස් හයසිය පණහක් (107,650) පමණ වේ. මෙය UNICEF සංවිධානය හරහා ජපන් රජය විසින් ලබා දෙන ලදී. UNICEF සංවිධානය නියෝජනය කරමින් මෙරට උප නියෝජිතවරිය වන එමා බ්‍රිග්හැම් මහත්මිය (Emma Brigham) හා ජපන් නියෝජිත පිරිසක්ද මේ හා එක්ව සිටියහ. අර්බුදකාරී තත්ත්වය සමනය වෙමින් පැවතීමත් සමග මේ වන විට ඖෂධ ලැබෙමින් පවතින බවත් , කොවිඩ් ව්‍යසනය පාලනය කළ අයුරින්ම ආර්ථික හා දේශපාලනික අර්බුදයන් රට තුළ සමනය කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලොව පුරා මිත්‍ර රටවල් සියල්ල පාහේ සහයෝගය දැක්වූ බවත් එම රටවල පරිත්‍යාගශීලීත්වයට ස්තූතිවන්ත වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය. විශේෂයෙන්  කලාපයේ සියලු රටවල් වඩා මිත්‍රශීලීත්වයකින් සහයෝගය ලබා දුන් බවත් ඒ අතරින් ජපානය ඉහළ මිත්‍රශීලීත්වයක් ලබාදුන් බවත් ඒ මහතා කීය. විශේෂයෙන් කොවිඩ් ව්‍යසන සමයේදී මෙන්ම වත්මන් අර්බුදකාරී තත්වයන් හමුවේ ලබාදුන් සහයෝගය අතිශය වැදගත් බවත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු වෙමින් පවතින සාකච්ඡා සාර්ථක බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඉකුත් සතිය තුළ සංචාරකයන්ගේ පැමිණීම පෙර වකවානුවට වඩා පැහැදිලි ලෙස වර්ධනය වී ඇතැයිද ඉදිරි කාලය සියල්ල යහපත් මට්ටමකට වර්ධනය වනු ඇතැයිද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙන්නා සේ මෙම ව්‍යසනයන් හමුවේ ද සුවිශේෂී ජයග්‍රහණයක් ඇතිවිය හැකි යැයිද පැවසීය.

ඖෂධ අර්බුදය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් අනුව ලබාදිය යුතු ප්‍රමුඛතාවයන් වර්ගීකරණයකට ලක් කර නිසි පාලනයකින් කටයුතු කළ බවත්, ළමුන්ට හා ගර්භණී මව්වරුන්ට ඒ තුළ ප්‍රමුඛතාවයක් ලබා දුන් බවත්, හදිසි  නොවන ශල්‍යකර්ම සඳහා වෙනත් දිනයක් ලබා දෙමින් හදිසි ඖෂධ හා උපකරණ ස්වයං කළමණාකරණයකින් පරිහරණය කළේ යැයිද ,මෙරට ත්‍රිපෝෂ වැඩසටහන යළි ආරම්භ කිරීමට හැකිවීම ඉතා වැදගත් යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා විදෙස් නියෝජිතයන්ට මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.