පාසල් ප්‍රවාහන සේවය තවදුරටත් යථාවත් කිරීමට පියවර

එළඹෙන සදුදා දින සිට පාසල් ප්‍රවාහන සේවය තවදුරටත් යථාවත් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි

ගමනාගමන මණ්ඩලය, තෙල් සංස්ථාව, පෞද්ගලික වෑන් හා බස් සංගම් ආදී සියලූ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් යටතේ ඩිපෝ මගින් ඉන්ධන සපයමින් පාසල් සේවය යථාවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

සභානායක ධුරයට පත්වීමෙන් පසු බෙල්ලන්විල  රජ මහා විහාරවාසී පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ   මුණ ගැසී    ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් දැක්වීම සිදු කළේය.

ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පාසල් පැමිණීම මේ වන විට 80%ක් හා 73% ක් ඉක්මවා ඇති එහිදී අනාවරණය විය.

පාසල් දරුවන්ට අහිමි වූ පාසල් කාලය, නිවාඩුවලින් අඩු කර වැඩිපුර වැඩ කිරීම මගින් ආවරණය කරන බවත් 2020, 21, හා 22 වර්ෂවල මුල පැවති ‘කොවිඞ්‘ ව්‍යසනය නිසා පමා වූ විභාග බොහොමයක් මේ වන විට පවත්වා ඇති අතර ඉතිරි විභාග කඩිනමින් පවත්වා ඉදිරි වර්ෂයේ දී විභාග නිසි කලට පැවැත්වීමේ කටයුතු යාවත්කාලීන කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, රට ස්ථාවර කිරීමට මේ අවස්ථාවේ හදිසි නීතිය අවශ්‍ය වන බවයි.  හදිසි නීතිය පැනවු නමුත් එහි සියලූ රෙගුලාසි එලෙසින් ම ක‍්‍රියාත්මක නොකළ බවත් රටට ආණ්ඩුවක් පැවතිය යුතු අතර එය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව රැක ගැනීම සඳහා ක‍්‍රියා නොකළා නම් විදේශීය මූල්‍ය ආයතනවලින් රටට  ණය ආධාර, විදේශ      ආයෝජන නොලැබෙන බවත් ඔහු පැවසී ය. 

රටේ දැවෙන ගැටලූ විසඳීමට දේශපාලන ස්ථාවරත්වය පැවතිය යුතු අතර ජනතාවට තිබෙන ගැටලූ ආණ්ඩුව භාර ගැනීම නිසා සංකීර්ණ ගැටලූ රැසකට මුහුණ දීමට  රජයට සිදු ව ඇත්තේ,  රටේ මුදල් සංචිත නොමැති, විදේශීය ණය නොලැබෙන,  විදේශ ප්‍රේෂණ අඩු වී, ලෝක ආර්ථික අර්බුදයක් ද පවතින වාතාවරණයක් තුළ  බවත් රජය තරුණයන්ගේ හඬට සාවධාන අවධානය යොමු කරන අතර ගෝල්ෆෙස් පිටිය වැනි ස්ථාන මෙසේ අර්බුදකාරී ව පැවතීම විදෙස් විනිමය ලැබෙන සංචාරක කර්මාන්තයට විශාල බාධාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published.