21කට විදෙස් ගමන් තහනම්

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ්  අලී ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වසන්ත මුදලිගේ, ජෝසෆ් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ ද විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝගයක් නිකුත් කළේය.

ඒ, අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ලෝටස් පාර, මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙනි.

කොටුව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කොටුව පොලීසිය අද අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම පුද්ගලයින් විදේශගතවීමට සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවය.

ඒ අනුව අදාළ පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

මේ අතර අරගලයට එරෙහි මර්දනය නවතනු මැයෙන් කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඊයේ (27) පැවති විරෝධතාවකින් අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් ඇන්තනී වේරංග පුෂ්පික අද (28) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවකදී එහි දේපළවලට හානි කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවය.

ඒ අනුව සැකකාර වේරංග පුෂ්පික අගෝස්තු මස 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

පොලීසිය සඳහන් කළේ ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වශයෙන් කළක් කටයුතු කර ඇති අතර ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය ද මේ වනවිට අහෝසි කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.