රත්මලානේ නිවසක් තුළ වෙඩි තැබීමක්: අයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, සිල්වා මාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී (ජූලි 27) එම නිවසට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා පළාගොස් ඇති බව ය.

වෙඩි තැබීමෙන් බරපතළ තුවා ලබා සිටි අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු 30 හැවිරිදි සිල්වා මාවත, රත්මලාන ප්‍රදේශයේ ම පදිංචි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

ඝාතනය සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය පැවසීය.

ඝාතනය සඳහා පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර ඊයේ (ජූලි 27) පස්වරුවේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු එම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

එක් පුද්ගලයෙකු එම ස්ථානයේදී ම මියගොස් තිබුණු අතර තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇත.

පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක්වී ඇත්තේ 49 සහ 44 හැවිරිදි ගලගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බව ය.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය පෙරේදා (ජූලි 26) අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට යම් සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මේ අතර මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේදී කඩුවලින් කපා පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු 30ක් වන මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

ඝාතනය සිදු කළ සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළ ගොස් ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.