පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා පිලට උණුසුම් පිළිගැනීමක්

රැජන තෑගි දුන් වසර 52ක් පැරණි රථය පැදගෙන ප්‍රභූ ආරක්ෂාව නැතිවම චාල්ස් කුමරු ක්‍රීඩාංගණයට

බ්‍රිතාන්‍ය එලිසෙබත් මහ රැජන වෙනුවට පැමිණි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් පොදු මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විචිත්‍රවත් සමාරම්භක උලෙළ එංගලන්තයේ බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැත්විණි.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පමණක් දෙවැනි වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ බ්‍රිතාන්‍ය යටත්විජිත ලෙස තිබී නිදහස ලැබූ රටවල් 72ක් අතර ලබන මස 8 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හා නිලධාරීහු 5000කට අධික පිරිසක් එක්ව සිටිති.

බර්මින්හැම් නගරය ඇතුළත්ව තිබෙන වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පළාත තුළ නිෂ්පාදනය කරන ලද විවිධ වර්ගයේ විවිධ පාට ගත් මෝටර් රථ 72ක් ක්‍රීඩාංගණය තුළට ධාවනය වූ අතර, අවසානයේ චාල්ස් කුමරු ධාවනය කර ගෙන පැමිණි, කෝර්න්වෝල් ආදිපාදී කැමිලා පාකර් ද සිටි මෝටර් රථය ක්‍රීඩාංගණයට පිවිසියේය. චාල්ස් කුමරු එයින් බසිද්දී 30,000ක පමණ ප්‍රේක්ෂක පිරිසගේ ප්‍රීති ඝෝෂාවෙන් ක්‍රීඩාංගණය ගිගුම් දුන්නේය.

මේ මෝටර් රථය චාල්ස් කුමරුගේ 21 වැනි උපන් දිනයදා මහ රැජන විසින් කුමරුට පිරිනැමූ ඇස්ටන් මාටින් වර්ගයේ මෝටර් රථයකි. ප්‍රභූ ආරක්ෂාවකින් තොරව පරිවාර රථ නැතිව පැමිණි 73 වැනි වියෙහි පසුවන චාල්ස් කුමරු මේ මෝටර් රථය වසර 52ක් පුරා ඉතා සුරක්ෂිතව තවමත් තම සන්තකයේ තබා ගැනීම සැමට දුන් ආදර්ශයකි.

මෝටර් රථවලින් පිරුණු ක්‍රීඩාංගණයේ අධි යථාර්ථවාදය ආදේශ කරනු ලැබුවේ විලියම් ශේක්ස්පියර්ගේ මීටර් හතරක් උස අනුරුවක් පැමිණීමෙනි. ශේක්ස්පියර්ගේ රූපය ක්‍රීඩාංගණය වටා යද්දී ආලෝකවත්ව තිබූ ක්‍රීඩාංගණය ක්‍රමයෙන් අඳුරු වූ අතර, ඒ සමඟම ක්‍රීඩාංගණයේ කෙළවරේ ඇති කුලුනක් ගිනිදැල් රූපවලින් ගිලී ගියේ එහි ඇතුළත ශේක්ස්පියර්ගේ කෘති එකතුවක් සමඟ දැවී ගිය පුස්තකාලයක් සංකේතවත් කරමිනි.

බර්මින්හැම් කේන්ද්‍ර කොටගත් එදා මෙදා කර්මාන්ත විප්ලවය පිළිබඳ නිර්මාණාත්මක කතිකාවක් පිළිබිඹු කිරීමට සමාරම්භක උලෙළේදී උත්සාහ දරා තිබිණි. අතුරු සිදුරු නැතිව පිරීගිය ප්‍රේක්ෂකයන්ට විශාලතම කම්පනය ඇති වූයේ බර්මින්හැම් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් යන දෙඅංශයේම බහු සංස්කෘතිකත්වයේ කොටසක් ලෙස මීටර් 10ක් උස සජීවිකරණය කළ කෝපාවිෂ්ට ‘කුළු හරකකු’ ක්‍රීඩාංගණයට ඇතුළු වීමෙනි. එම ‘කුළු හරකා’ නිරූපිකාවක් පැමිණ මෙල්ල කිරීමෙන් පසුව රටවල් හැත්තෑ දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමාචාර පෙළපාළියෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වූහ.

සමාරම්භක උලෙළ වර්ණවත් කරමින් අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පැවත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක හා ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තු පෙරටුකොට ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ අතර ඒ සමඟ කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස ගමන් ගත්හ.

Leave a Reply

Your email address will not be published.