මම ජොබ් එක හරියට කළා ප්‍රභාත් ජයසූරිය කියයි

මෙවර පිතිකරුවන්ට වාසිදායක වූවත්, ගාලු තණතීරුව ඕනෑම මොහොතක දඟ කැවීමට ඉඩ ඇතැයි අපේක්ෂාවෙන් පන්දු යැවූ බවත්, පාකිස්තාන නායක බාබර් අසාම් දවාලීමෙන් පසු වැසි අ‍ඳුරට පෙර තරගය ජය ගැනීමේ බලාපොරොත්තුව ඉහළ ගිය බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ මෑත කාලයේ සාර්ථකම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය කීවේය. වමතින් දඟ පන්දු යවන 30 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය පෙරේදා (28)ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පිල ජය ගත් දෙවැනි ටෙස්ට් තරගයේ පාකිස්තාන දෙවැනි ඉනිමෙන් කඩුලු 5ක් උදුරා ගත්තේය. එය ඔහුගේ තුන්වැනි ටෙස්ට් තරගය වූ අතර, පළමු ඉනිමේ අත් කර ගත් කඩුලු 3ත් සමඟ මුළු තරගයේදී කඩුලු 8ක් දවාලමින් තරගමාලාවේ වීරයා බවට ද පත් වූයේ සමස්ත තරගමාලාවේ කඩුලු 17ක්ම දවාලමිනි.

තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක් වූ ප්‍රභාත් කියා සිටියේ කණ්ඩායමේ නායකයා සියතට පන්දුව දෙනු ලබන්නේ විශ්වාසයකින් යුතුව බවත්, අවසානයේ තමා ඒ විශ්වාසය රැකගත් බවත් ජයසූරිය වැඩි දුරටත් කීවේය.

“කැප්ටන් නිතරම පන්දුව අතට දෙන්නේ මාව විශ්වාස කරලා. ඒ නිසා මම ජොබ් එක හරියට කරන්න ඕනා.

මම ඒ ජොබ් එක හරියට කළා කියලා හිතනවා.” ඔහු කීවේය.

මාතලේ ක්‍රිස්තුදේව විදුහලෙන් කොළඹ ලුම්බිණි විදුහලට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් වරම් ලැබුවේ පසුගියදා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙනි. එම තරගයේ ඉනිම් දෙකේදීම කඩුලු 6 බැගින් දවාලමින් තරගයේ වීරයා බවට පත් වූ ඔහු පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 5කුත්, දෙවැනි ඉනිමේදී කඩුලු 4කුත් දවාලීය.

“ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි ආවේ. අවස්ථාවක් තිබුණා විදේශගත වෙලා ක්‍රීඩා කරන්න. ඒත් මට නිතරම ඕන වුණේ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්නයි.” ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published.