රෝහිත බෝගොල්ලාගමට නිකුත් කළ සිතාසි ආදේශ ක්‍රමයට භාර දෙන්න

කොළඹ දිසා අධිකරණයෙන් නියෝග

හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාට කොළඹ දිසා අධිකරණයේ පෙනී සිටින්නැයි නිකුත් කළ සිතාසි (ආදේශ ක්‍රමයට) බිත්තියේ අලවා භාර දෙන්නැයි කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය විසින් බෝගොල්ලාගම මහතාට එරෙහිව පැවරූ නඩුවේ සිතාසි භාර දීමට නොහැකි වූ බවට සඳහන් පිස්කල් වාර්තාව සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂි ද සිල්වා මහත්මිය මේ නියෝගය නිකුත් කළාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2015 වසරේ දි බෝගොල්ලාගම මහතාට එරෙහිව නඩු පැවරීම සම්බන්ධව අසත්‍ය ,අපහාසාත්මක හා දේවේශ සහගත ප්‍රකාශ කිරීමෙන් සිය කීර්තිනාමයට හානි වූ බවද, ඊට වන්දි ලෙස රුපියල් බිලියනයක් අය කර දෙන්නැයි ද ඉල්ලා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් පැවරු නඩුව කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කළාය.

පැමිණිලිකාර දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිය පෙත්සම නීතිඥ ජී.ජී. අරුල් ප්‍රකාශම් මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, පැමිණිල්ල මගින් මෙසේද සඳහන් කර සිටියාය.

“අපහාස කිරීමට අදාළ අසත්‍ය ප්‍රකාශය විත්තිකරු විසින් 2020 ජූලි මස 16 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මාධ්‍යයට ඉදිරිපත් කර ඊට පුළුල් ප්‍රචාරයක් දීමට කටයුතු කළා.

“හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම 2006 වසරේදී විමර්ශනයක් ආරම්භ කර 2015 වසරේ දී නඩු පැවරීම කළා. විමර්ශන කටයුතු 2006 වසරේ සිට අඛණ්ඩව සිදු කිරීමෙන් පසුව 2015 මා අධ්‍යක්ෂ ධුරයට පත් පත් වීමෙන් අනතුරුව අදාළ විමර්ශන ගොනු අනුව නඩු පැවරීම සිදු කරන ලද අතර විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩුවක් ගොනු කර ඇත. අල්ලස් හෝ දූෂණ කොමිසම නිකුත් කළ සිතාසියක් අනුව කටයුතු නොකර එම කොමිසම හිතාමතාම මඟහැර කොමිසමට අපහාස කිරීම සම්බන්ධව මේ පෙත්සම ගොනු කර තිබුණා.“ මේ නඩු පැවරීම දේශපාලන පළි ගැනීමක් බවට සඳහන් කරමින් විත්තිකරු විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර පිටම යන අවස්ථාවේදී අදාළ අපහාසාත්මක ප්‍රකාශය සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published.