චීන රොකට්ටුවක් ඉන්දීය සාගරයට වැටේ

චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

රොකට්ටුව, කඩා වැටුණේ ඉන්දීය සාගරය කුමන කලාපයට යන්න සම්බන්ධයෙන් චීනය කිසිවක් පවසා නොමැති බව ද නාසා ආයතනය කියයි. රොකට්ටුව ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ද නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

චීනය ‘ටියැංගොන්’ යන නමින් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් පවතී. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීම සිදුවන්නේ රොකට්ටු මගින් එහි කොටස් (මොඩියුල) අභ්‍යවකාශයට ගෙන්වා ගෙන ඒවා එකැලැස් කිරීමෙනි. චීන ගගනගාමීන් මාරුවෙන් මාරුවට අභ්‍යවකාශයේ රැඳී සිටිමින් අභ්‍යවකාශ නැවතුම්පොළේ එකලැස් කිරීම් සිදු කරයි.

‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම වසරේ අවසන් කිරීමට චීන අභ්‍යවකාශ ආයතනය අපේක්ෂා කරයි.
පසුගිය ජූලි 24 වැනිදා ද අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කිරීම සඳහා මොඩියුල කීපයක් සාර්ථකව අභ්‍යවකාශයට යැවුණි.

අද (31) අනතුරුදායක අයුරින් යළි පෘථිවියට කඩා වැටුණේ එම මොඩියුල අභ්‍යවකාශයට රැගෙන ගිය ‘ලොංග් මාර්ච් බී8 වයි 3’ රොකට්ටුව සහ එහි කොටස්ය.

Leave a Reply

Your email address will not be published.