නාවික හමුදාවේ ආධුනික නාවිකයින් 478ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 362 ක් සහ ආධුනික කාන්තා නාවිකයන් 116 ක් ඇතුළු 478 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය 30 වැනිදා පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය.  මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 245 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ටීජීවී සංදීප හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්එම්කේකේජීපීඅයියූ වීරසිංහ විසින් හිමිකර ගන්නා ලදී.

ආධුනික නැවි ආර්එම්ජිඑන් රත්නායක දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි කේජීඑස් සප්තරංග විසින් ද දක්‍ෂතම ක්‍රීඩීකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඊඑම්එන් හිමයංගනී විසින් ද හිමි කර ගන්නා ලදී. 

245 ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘දක්ෂයා’ අංශයට හිමිවිය.

මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා මහා සංඝරත්නය වැඩම කර සිටි අතර,  නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් අරුණ වීරසිංහ ඇතුළු එම ආයතනයේ නිලධාරීන් හා නාවිකයින්, යුධ හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය හා ‍පොලිස් විශේෂ  කාර්ය බලකායට අයත් නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published.