පොලිස් කතක බලහත්කාරයෙන් රැගෙන යද්දී වෙඩි තබා මුදා ගනී

අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි. 

බලහත්කාරයෙන් රැගෙන ගිය  පොලිස් සැරයන්වරිය ද මුදා ගෙන ඇති අතර මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හෙරොයින්  පැකට් කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අඹන්පොළ පොලිසියට  ලැබුණු තොරතුරුක් අනුව මෙම සැකකටයුතු  මෝටර් රථය අඹන්පොළ රෝහල අසල දී  නතර කරගෙන ඇත.

එම සැකකටයුතු මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකු  සිටි නිසා කාන්තා පොලිස් සැරයන්වරියක ගෙන්වාගෙන  අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙස මෝටර් රථයේ රියැදුරාට උපදෙස් ලබා දී ඇත.

අඹන්පොල පොලිස් ස්ථානය පසුකර මෝටර් රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කිරීම නිසා පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් හතක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේ දී රථයට වෙඩි තබා ඇතැයි පොලිසිය කීය.

රථයේ රෝදයකට වෙඩි වැදීමෙන් රථය නතර වී ඇති බවත් රියදුරා හා කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය  සැරයන්වරිය මුදාගත් බවත් පොලිසිය කීය.

අඹන්පොළ පොලිසිය සැකකරු හා සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published.