විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරුබදු සහන ඉහළට

බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තීරු බදු සහනය ඉහළ දැමීමටත්, විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාව දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (2) පැවසීය.

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් විගමනික ශ්‍රමිකයින් විසින් මෙරටට සිදුකරනු ලබන ප්‍රේෂණයන් වැඩිකිරීම සඳහා මෙම දිරි ගැන්වීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව විදෙස් ගත වී සිටි කාලය දවස් 90ට අඩු නම් ඩොලර් 187.50ක්, දින 90ත් 365ත් අතර නම් ඩොලර් 625ක් සහ දවස් 365ට වැඩි නම් ලබාදුන් ඩොලර් 1750ක තීරු බදු සහනය ඒ අයුරින්ම ලබාදෙන අතර, මෙරටට විදෙස් මුදල් එවූ ශ්‍රමිකයන් වෙත එවන මුදල් ප්‍රමාණය අනුව වැඩි තීරුබදු සහනයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අවම වශයෙන් ඩොලර් 2,400ක් එවා ඇති අයට විදෙස්ගතව සිටි කාලය දින 90ට අඩු නම් ඩොලර් 787ක්, දින 90ත් 365ත් ඩොලර් 1225 ක් සහ දින 365ට වැඩි 2350ක සහනයක් ලෙසත්, ඩොලර් 4,800ක් එවා ඇත්නම්, දින 90ට අඩු අයට ඩොලර් 1,175 ක්, දින 90ත් 365ත් අතර නම් ඩොලර් 1,585 ක් සහ 365ට වැඩි 2710 ක සහනයක් හිමිවන බව කී ඇමතිවරයා ඩොලර් 7200ක් එවා ඇත්නම් පිළිවෙලින් ඩොලර් 1627, 2065, 3190 ලෙසත්, ඩොලර් 12,000ක් එවා ඇත්නම් පිළිවෙලින් ඩොලර් 2587, 3025, 4150ක් සහ ඩොලර් 24,000ක් හෝ ඊට වඩා එවා ඇත්නම් පිළිවෙලින් ඩොලර් 4985, 5425, 6550 ලෙසත් ලබාදෙන තීරුබදු සහනය ඉහළ නංවා ඇතැයි ප්‍රකාශ කළේය.

එමෙන්ම ඩොලර් 3000 කට වඩා එවන අයට විදේශ විනිමය එවන අය වෙනුවෙන් එවපු මුදලෙන් අඩක වටිනාකමකින් යුත් විදුලි යතුරු පැදියක් ආනයනය කළ හැකි අතර, ඩොලර් 20,000 සිට 65000ක උපරිමය දක්වා විද්‍යුත් වාහන ගෙන්වීමට අවසර දෙන බව ඇමතිවරයා කීවේය.

මේ ගෙන්වන වාහන 300-500 අතර ධාවන පරාසසයක විය යුතු මෙන්ම සූර්ය බල පද්ධතිය මගින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත්, ජාතික විදුලි පද්ධතියෙන් මෙම වාහන ආරෝපණය කිරීමට නොදෙන බවත් නානායක්කාර මහතා පැවසීය.

ඒ සදහා වන චක්‍රෙල්ඛනය ඉදිරියේ දී නිකුත් කරන බව ද ඇමතිවරයා කීවේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මුදල් ප්‍රමාණය ජූලි මස සිට යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි කී ඇමතිවරයා මේ හේතුවෙන් තෙල්, ගෑස්, බෙහෙත් ගැනීමට අවස්ථාව හිමිවූ බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.