බූස්ටර් නොගත්තොත් ඔමික්‍රෝන් BA5ට ගොදුරු වීමට වැඩි ඉඩ


 ඔමික්‍රෝන් BA5 නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව නොගෙන සිටින පිරිසට මෙම වයිරසය වැලඳීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (1) ප්‍රකාශ කළේය.

නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන වර්ධක එන්නත් මාත්‍රා ගැනීම වැදගත් බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පැවසුවේය.

කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට රට වසා දමන තෙක් නොසිට දැන් සිටම මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව ද ඒ මහතා කීය.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් සහ කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වළක්වා ගත හැකි යැයි ද හෙතෙම පැවසීය.

මෙරට ජනගහනයෙන් 17,105,217ක් කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ද, 14,555,036ක් දෙවැනි මාත්‍රාව ද, කොවිඩ් මර්දන වර්ධක (බූස්ටර්) පළමු මාත්‍රාව 8,005,770 ක් ද, දෙවැනි වර්ධක මාත්‍රාව 18,931ක් ද ලබා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

පළමු හා දෙවැනි කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් පිරිසගේ ප්‍රතිශක්තිය මේ වන විට හීන වී ඇති බවත් කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාවන් ලබා ගැනීමෙන් කොවිඩ් මර්දන ප්‍රතිශක්තිය නැවත ලබා ගත හැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව මෙරට ජනගහනයට ඇති තරම් දීම සඳහා සුරක්ෂිතව ගබඩා කර ඇති බවත් මෙරට ජනගහනයෙන් මිලියන 10ක්වත් මෙම මාත්‍රාව ලබා ගැනීමෙන් කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.

හැකි තරම් ඉක්මණට කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාවන් ලබා ගැනීමට ජනගහනය යොමු විය යුතු යැයි ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published.