පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළේ වසර 92ක ඉතිහාසය යුපුන් අලුතින් ලියයි

අද අවසන් පූර්ව වටයට / මීටර් 100 මූලික වටයේදී ඉතිහාසගත දස්කම් දැක්වූ යුපුන් අබේකෝන් තත්පර 10.06කින් තරගය ඊයේ නිම කළ අයුරු.

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විශාල අවධානයක් යොමු වූ මීටර් 100 මූලික වටයේ තරගයට එක් වූ යුපුන් අබේකෝන් තත්පර 10.06කින් තරගය නිම කොට අද (3) පැවැත්වෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගනියි. තරගකරුවන් 28ක් අතරේ පැවැත්වෙන එම අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 11. 40ට පැවැත්වේ. බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේදී හොඳ ආරම්භයක් ලබා වැඩි ආයාසයකින් තොරව තරග කළ යුපුන් එම මූලික වටයේ ක්‍රීඩකයන් 75කින් පළමු වැනියා ලෙස හොඳම කාලය වාර්තා කිරීම කැපී පෙණිනි.

මීටර් 100 මූලික වටයේ තරග 10ක සමස්ත ප්‍රතිඵල අනුව යුපුන්ට දෙවැනි වූ කෙන්යාවේ ඔමන්යාලා ෆර්ඩිනැන්ඩ් (තත්පර 10.07) ක්‍රීඩකයා ඇතුළු මූලික වටයේ සහභාගී වූ සියලු දෙනා පසුපසින් සිටියහ.

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ පෙරැළිකාර කෙටිදුර ධාවකයකු වී සිටින යුපුන් අබේකෝන් ඊයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කිරීම ද විශේෂත්වයකි. එදා මෙදා තුර වසර 92ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයක හොඳම කාලය යුපුන් අබේකෝන් බර්මින්හැම්හීදී වාර්තා පොතට එක් කිරීම එම සුවිශේෂ සටහන වේ. මෙයට පෙර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 ඉසව්වේ මූලික වටයේ හොඳම කාලය වාර්තා කොට තිබුණේ තත්පර 10.10කින් කැනඩාවේ ගෙන්රෝයී ගිල්බට් ක්‍රීඩකයා විසිනි. ඒ 1994දී කැනඩාවේ වික්ටෝරියා හී සෙන්ටේනියල් ක්‍රීඩාංගණයේ පැවැති 15වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදීය.

බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී කාන්තා මීටර් 800 මූලික වටයේ තරගයට එක් වූ ගයන්තිකා අබේරත්න මිනිත්තු 2:01.20කින් තරගය නිම කරමින් සමස්ත මූලික වටයේ ක්‍රීඩිකාවන් 18කින් 13වැනි තැනට පත්වී අවසන් පූර්ව වටය මග හැරුණ ද ඇයගේ කාලය මීටර් 800 කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් විය. ගයන්තිකා මෙයට පෙර මේ වසරේදී දියගම ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී එම ඉසව්ව මිනිත්තු 2:01.44කින් නිමකොට ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණි.

පිහිනුම්

මීටර් 200 පසුපස ආර තරගයට එක් වූ ගංගා සෙ‍ෙනවිරත්න මිනිත්තු 2:26.63කින් 10 වැනි ස්ථානයට පත් වී අවසන් තරගයට අතිරේක ක්‍රීඩිකාවක් ලෙස සුදුසුකම් ලබා සිටියාය. අවසන් වටයට කෙළින්ම සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් අට අතුරින් දෙදෙනකු තරගයට එක් නොවුණ හොත් ඇයට අවස්ථාව හිමිවීමට ඉඩ තිබිණි. එහෙත් සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් අතර ඊයේ අවසන් තරගය පැවැත්විණි.

බොක්සිං

බර්මින්හැම් ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථාන බොක්සිං වළල්ලේ ඊයේ පැවැති කිලෝග්‍රෑම් 51-54 බර පන්තියේ බැන්ටම්වේට් බොක්සිං තරගයකදී රුක්මාල් ප්‍රසන්න විසින් 3-2කින් කෙන්යාවේ සාෆි බකාරී පරාජයට පත් කළේය. කිලෝග්‍රෑම් 54- 57 බැන්ටම්වේට් තරගයේදී සජීවනී කුරේ විසින් පාකිස්තානයේ මෙහෙරින් 5-0ක් ලෙස පරාජය කළාය.

මේ අතර කිලෝග්‍රෑම් 48 – 51 ෆ්ලයිවේට් බර පන්තියේදී ඉෂාන් රංජීව සෙනවිරත්න එංගලන්තයේ කිරාන් මැක්ඩොනල්ඩ්ට 5-0කින් පරාජය වූ අතර, කිලෝග්‍රෑම් 54 – 57 ෆ්ලයිවේට් බර පංතියේදී විමුක්ති කුමාර ජීවන්ත ගයානා ක්‍රීඩක කෙවීන් ඇලිකොක්ස් හමුවේ පරාජය විය.

ස්කොෂ්

ස්කොෂ් පළඟ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී චනිත්මා සිනලී 3-0කින් ඉන්දීය ක්‍රීඩිකා සන්යනා සාරා හමුවේ පරාජය වූවාය.

Leave a Reply

Your email address will not be published.