කඳුළු ගෑස් උණ්ඩ පැහැරගත් සැකකරු හඳුනාගැනීමේ පෙරැට්ටුවකට

පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා  පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත් බෝම්බ පැහැර ගත්තැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අද (03) නියෝග කළේය. 

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා ද එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියම කළේය .

අධිකරණය මගින් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ රාජගිරිය හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උන්ඩ 55 ද දෙවන සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩයක් ද තුන්වෙනි සැකකරු සන්තකයේ තිබී කඳුළු ගෑස් උණ්ඩ දෙකක් ද සොයා ගත් බව වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය. 

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් ලබන 8 අට වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.