CIA ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් කයිඩා නායකයා මරුට

අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි ඝාතනයට ලක්වූ බව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ නිවේදනය කළේය. අල් කයිඩා නායකයා ඝාතනයට ලක් වී ඇත්තේ සීඅයිඒ සංවිධානය මඟින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී සිදු කරනු ලැබූ මෙහෙයුමකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උසාමා බිල් ලාදින්ගෙන් පසු අල් කයිඩා නායකත්වයට පත්වූ 71 හැවිරිදි අල් සවාහිරි කාබුල් නුවර අධිආරක්ෂිත නිවෙසක උඩුමහලේ සඳළුතලයේ සිටියදී ඩ්‍රෝන මිසයිල ප්‍රහාර දෙකක් ඔහුට එල්ල කර ඇත. ඒ මොහොතේ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සඳළුතලයේ සිටි බවත්, ඔවුන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් අමෙරිකාව නිවේදනය කර තිබේ.

උසාමා බිල් ලාදින් සමඟ එක්ව 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වැනිදා නිව්යෝක් නුවරට ප්‍රහාරය සැලසුම් කළ බව කියන අල් සවාහිරි වඩාත්ම අත්‍යවශ්‍ය ත්‍රස්තවාදියකු ලෙස අමෙරිකාව නම් කර තිබිණි. ඔහු පිළිබඳ නිවැරදි තොරතුරක් සපයන පුද්ගලයාට අමෙරිකා ඩොලර් මිලියන 25ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව මීට පෙර නිවේදනය කර තිබිණි.

උසාමා බින් ලාදින්ගේ මරණයෙන් පසු අල් කයිඩා නායකත්වයට පත් වූ ඔහු ඊජිප්තුවේ උපත ලැබූවෙකි. හෙතෙම වෛද්‍ය වෘත්තියේ නිරතව සිටි පුද්ගලයකු වන අතර, 1981දී එවකට ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කිරීමේ චෝදනාවට ද සිරගතව සිටි අයෙකි.

පසුගිය ඉරිදා උදෑසන සිදු වූ මේ ප්‍රහාරයත් සමඟ කාබුල් අගනුවර දැඩි කැළඹීමකට ලක්වී ඇති අතර, සිදුවූයේ කුමක්දැයි සොයා දැන ගැනීමට ඇෆ්ගනිස්තාන ජාතිකයන් වීදි පුරා දිව ගිය බව වාර්තා වේ. අමෙරිකා ජනාධිපතිවරයා විසින් අල් කයිඩා නායකයා ඝාතනය කරනු ලැබීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත එම ප්‍රහාරය සිදු වූ නිවෙස පිහිටි ස්ථානය වෙත ජනතාව එක්රොක් වීමට පටන්ගත් බවත්, අල් කයිඩා නායකයා ඝාතනය වූ ඔහුගේ නිවෙසේ සඳළුතලය ඇතුළු සෙසු නිවාසවල සඳළුතල ද ආවරණය කිරීමට පියවර ගෙන තිබිණි. අල් කයිඩා නායකයා ඝාතනයට ලක් වූ නිවෙස ඉදිරිපිට රැස් වූ මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද තලේබාන් සංවිධානයේ සාමාජිකයන් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published.