බස්නාහිර සහ දකුණු මුහුදේ වැසි හා තද සුළං

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ජනතාව පීඩාවට පත්ව තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, යාපනය, නුවරඑළිය, මහනුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර, කෑගල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවය.එම දිස්ත්‍රික්ක වල පවුල් 3,191කට අයත් පුද්ගලයින් 12,819 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.පවුල් 480කට අයත් පුද්ගලයින් 2313 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා තබාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.මේ අතර දිස්ත්‍රික්ක 8ට පනවා ඇති නායයෑම් අනතුරු නිවේදනය අද පස්වරු 3.00 දක්වා දීර්ඝ කර තිබේ.ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.ඉන් දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ විද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.මේ අතර, නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රියවීමක් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑලිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.මධම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට සුළගේ වේගය පැ.කි.මී. 60 පමණ දක්වා වැඩිවිය හැකි අතර උතුරු, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහාපොතුවිල්දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර්. 2.5-3.5ක් පමණ ඉහළයාමේ හැකියාවක්ද පවතී.මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු, ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.