රජයේ රෝහල්වල පිරී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධ නීතිවල වෙනසක් ඕනෑ

එම මළ සිරුරු ඉවත් නොකිරීම ගැටලුවක්

ඇමැති විජයදාස රාජපක්ෂ

දිවයින පුරා රජයේ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත ශරීර සම්බන්ධයෙන් ඉක්මන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන සේ නීති වෙනස් විය යුතුව ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

හඳුනා නොගත් මෘත ශරීර ඉවත් කිරීමට නොහැකි වීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් හා ඒ සඳහා නීතිමය වශයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ඊයේ (5) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ සිදු විය යුතු සංශෝධන හා ඊට අනුකූලව අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ ඇමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රජයේ රෝහල්වල මෘත ශරීරාගාර තුළ පවතිනුයේ සීමිත ඉඩකඩ ප්‍රමාණයක් බවත්, හඳුනා නොගත් මෘත ශරීර තැන්පත් කර තිබීම හේතුවෙන් අනෙකුත් මෘත ශරීර තැන්පත් කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට රෝහල් බලධාරීන්ට සිදුව ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.