ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීම කලක් තිස්සේ කළ සැලසුමක්

පොලිස් විශේෂ කාර්ය බළකායේ තොරතුරුකරුවකුට ගල්කිස්ස අධිකරණයේදී එල්ලවූ වෙඩි තැබීම කාලයක් තිස්සේ කළ සැලසුමකට අනුව සිදු වූවක් බව ඒ ගැන විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් සැක කරයි.

මේ වෙඩි තැබීමට පෙර අධිකරණයේ පැවති ආරක්ෂක තත්ත්වය ගැන සොයා බලා ගිනි අවිය රැගෙන වෙඩික්කරු පැමිණ ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අධිකරණ ශාලාවට ඇතුළු වන පිරිස් පරීක්ෂා කිරීමකින් පසු ඇතුළු කර ගැනීම කළ යුතු වූවත් පසුගිය දිනවල එය නිසි ලෙස සිදුව නැති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව අධිකරණ පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ද එම නිලධාරියා කීය.

වෙඩික්කරු අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා පලා යන විට අධිකරණ භූමියේ සන්නද්ධව සිටි කිසිදු පොලිස් නිලධාරියෙක් ඔහුට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පලා යෑම වැළැක්වීමට නිසි පියවරක් ගෙන නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ වෙඩික්කරු පලා යන අයුරු සහ ඔහුට සහාය දුන් පිරිස් හඳුනා ගැනීම් මේ වන විට සිදු වෙමින් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ වෙඩි තැබීම ඩුබායිහි රැඳී සිටින හරක් කටා විසින් සිය ගෝලයන් යොදා කළ එකක් බව මේ වන විට හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published.