සර්ව පාක්ෂික ආණ්ඩුවට ඇමති ධූර 30ක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවත්වන සාකච්ඡා අවසන් වූ වහා ම තිස් දෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් පත්කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡා ඉදිරි දෙසතිය තුළ අවසන් කර නව ඇමැති මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර ඇති බව ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ.

මෙම සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂවලට ලබාදෙන ඇමති ධූර පිළිබඳව අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි ද දැන ගන්නට ඇත.

මේ වනවිට ඇමැති ධූර 18 දෙනෙකුට ලබා දී ඇති අතර දැනට පවතින සාකච්ඡාවලින් අනතුරුව තවත් 12 දෙනෙකුට ඇමැති තනතුරු ලබා දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද කැබිනට් ඇමති ධූර හිමිවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු ම ඇමතිවරුන් සඳහා ඇමති වැටුප හා වාහනයක් පමණක් ලබා දීමට හා දීමනා කප්පාදු කිරීමටත් යෝජනාවී ඇති බව ද දැන ගන්නට ඇත.

ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාට සහය ලබා දෙන පක්ෂවලින් ලැබෙන යෝජනා අනුව ඇමති ධූර ලබා දෙන්නේ කාටදැයි තීරණය කෙරෙනු ඇති බව ද වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමට සහය දැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ශ්වය කොන්දේසි හතරක් පනවා ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර තිබේ.

මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, සී. විග්නේශ්වරන් ඇතුළු සුළු පක්ෂ නායකයන් සර්වපාක්ෂික ආණ්ඩුවකට සහය ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මීට පෙර අමාත්‍යාංශ 28ක් සඳහා ලේකම්වරු පත් කළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබිණි. මැයි 9 වන දා හා ඊට පසු දිනවලදී ගිනි තැබීමෙන් විනාශ වූ නිවාස හිමි මන්ත්‍රීවරුන්ට වන්දි ලබා දීමට ද ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇත.

Leave a Reply

Your email address will not be published.