සර්ව පාක්ෂික ආණ්ඩුවේ නම වෙනස් කරන්න ජනපති ප්‍රධාන විපක්ෂයට යෝජනා කරයි

ඉදිරියේදී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන සන්ධානය සමග ඊයේ (අගෝ. 5) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, “සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කළ අතර ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බව ය.”

රටේ ආර්ථිකය දැන් අසීරු තත්ත්වයක තිබෙන බැවින් එම තත්ත්වයෙන් ගොඩ ඒමට සියලුදෙනා එක්ව ආණ්ඩුවේ ඇමති ධූර භාරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර රට ගොඩනැගීමට කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය.

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වෙලා කටයුතු කරන ලෙසට සමගි ජන සන්ධානයට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

“මේ සියලු දෙනා මමත් සමග වැඩ කරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුළුවන්.

1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන් ම අමාත්‍ය ධූර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුව ම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදාය ම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1977 ආණ්ඩු පෙරළියේ දී 5/6 බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැගුවා. හැබැයි දැන් 5/6ක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනගන්න බැහැ. එක ම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි. පසුගිය දා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් අපිට හිදිසි නීතිය පැනවීමට සිදු වුණා. එහෙත් හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙනවා. එහිදී හදිසි නිතිය අවශ්‍යයි. “

Leave a Reply

Your email address will not be published.