කුරුණෑගල මහ රෝහලේ ලේඛනාගාරයෙන් වටිනා ලේඛන රැසක් උස්සලා

කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලේඛනාගාරයට ඇතුළු වී එහි තිබූ වටිනා ලිපි ලේඛන රැසක් සොරා ගෙන ගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා (6) සවස පොලිස් පරීක්ෂණයක් ද ආරම්භ කළ බව කුරුණෑගල පොලිසිය කියයි. ‍ ලේඛනාගාරය භාර නිලධාරියකු රෝහල් අධ්‍යක්ෂ වරයාට ලේඛනාගාරය තුළ කිසියම් වෙනසක් ඇති බවට කළ දැනුම් දීමකට අනුව රෝහ‍ල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා ඒ බව කුරුණෑගල පොලිසියට කළ දැනුම් දීමෙන් පසුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි පැවසේ. ‍

පොලිසිය මෙතෙක් කළ විමර්ශන අනුව ලේඛනාගාරයේ තිබූ ලේඛන විශාල ප්‍රමාණයක් ඉන් ඉවත් කර ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව කියයි. මෙය සති කිහිපයක සිට සිදුවූ සොරකමක් බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් වැඩිදුරටත් සඳහන් කරයි. එසේ සොරා ගෙන ගොස් ඇති ලේඛන අතර රෝගීන් ලියාපදිංචි කළ ලේඛන මෙන්ම වෙනත් වටිනා ලේඛන රැසක් ද වන බව වාර්තා වේ. ඒ අතර පසුගිය කාලයේ රෝහල හා සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීමකට අදාළ ලේඛන ද තිබී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙසේ ලේඛන මිටි පිටින් සොරා ගෙන ගොස් ඇත්තේ මේ දිනවල වෙළෙඳපොළෙහි පවතින අධික කඩදාසි හිඟය නිසා වෙළෙඳසල්වල සිල්ලර බඩු එතීම සඳහා මේ ලේඛන විකුණා ඇති බවටද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published.