ගෙවන්න ප්‍රමාද වුණොත් ප්‍රමාද ගාස්තු  අයකරන ලංවිමට පාරිභෝගික තැන්පතුව ගැන අධිකරණයේදී මතක්වෙයි…

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේදී  පාරිභෝගිකයන්ගෙන් අය කරන තැන්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලී මුදල් පාරිභෝගිකයන්ට ගෙවීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (08දා) පොරොන්දුවක් ලබාදුන්නේය.

ලංකා විදුලිබල මණ්ඩල පනත අනුව එකී තැන්පතු මුදල් වෙනුවෙන් පාරිභෝගිකයන්ට පොලී මුදලක් ගෙවිය යුතු වුවත් ලංකා විදුලිබල මණ්ඩලය වසර ගණනාවක් ඒ අනුව කටයුතු කර නොමැති බවත් පාරිභෝගිකයන්ගේ විදුලි බිලෙන් හෝ එකී පොලිය අඩුකර නොමැති බවත් පෙන්වා දෙමින් විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

එකී පෙත්සම එල්.ටී.බී. දෙහිදෙණිය, ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණයට එකී පොරොන්දුව ලබාදුන්නේය.

යම්කිසි පාරිභෝගිකයකු විසින් විදුලි බිල්පතක් ගෙවීමට ප්‍රමාද වුවහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීමට උත්සුක වන ලංකා විදුලි බල මණ්ඩලය වසරකට වරක් හෝ එකතු වන පොලී මුදල විදුලි බිලෙන් අඩුකිරීමට නිසි පියවර නොගැනීම පාරිභෝගික ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් ඒ සඳහා නියෝගයක් කරන්නැයිද විදුලි පාරිභෝගික සංගමය එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පනත අනුව ලබාදිය යුතු පාරිභෝගික ජනතාවගේ එම අයිතිවාසිකම පිළිගන්නා බවත් වර්තමානයේ පවතින ආර්ථික ගැටලු සමථයකට පත්වූ වහාම ඒ සඳහා නිසි පියවර ගන්නා බවත් ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා හා නීතිඥ හංසනී ඉමල්කා මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිපතිවරයා විසින් අධිකරණයට ලබාදුන් පොරොන්දුව අනුව ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් වැඩිදුර කරුණු වාර්තා කරන ලෙසට නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල එම පෙත්සම ලබන ඔක්තෝබර් 7 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published.