විමර්ශන ඇරඹීමත් සමඟ ජනපති මැඳුරට රිංගූ කෝටිපති ව්‍යාපාරිකයා රට පනී

අරගලකරුවන් සමඟ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අය සමඟ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ එම ව්‍යාපාරිකයා රටින් පිටව ගොස් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි.

එම ව්‍යාපාරිකයා මෙරට ප්‍රමුඛ පෙළේ යකඩ කර්මාන්ත සමාගමක ඉහළින්ම සිටින ආයෝජකයෙක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම ව්‍යාපාරිකයා මේ වන විට අප්‍රිකානු රටක රැඳී සිටින බව සඳහන් වේ. මෙම ව්‍යාපාරිකයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළු වීමය. එම ව්‍යාපාරිකයා ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි සිට සෙල්ෆි ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකර ඇත. ව්‍යාපාරිකයාට එරෙහිව සාක්ෂියක් බවට මේ වන විට පත්ව ඇත්තේ ද සමාජ මාධ්‍යවල හුවමාරු වූ එම ඡායාරූප බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුළු වීම සහ දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. ජනාධිපති මැඳුරට අනවසරයෙන් ඇතුළු වී දේපොළට හානි කිරීම් කළ බව සඳහන් පුද්ගලයන් 45ක් පොලිසිය මේ වන විට හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.