ඝාතනය කළ මන්ත්‍රී අමරකීර්තිගේ රන් මුදු සොරා ගත් සැකකරුවන් CID භාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාවත්  ඔහුගේ ආරක්ෂක නිලධාරියාවත් නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීමෙන් පසු මන්ත්‍රීවරයාගේ ඇඟිලිවල පැළදි මුදු  තුනක්  කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ. 

එම මුදු තුන උකස්කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත. 

ගාලු මුවදෙර අරගලකරුවන්ට ඉකුත් මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ රට පුරා ඇතිවුණු නොසන්සුන්තාවය අතර තුර මන්ත්‍රීවරයාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාත් ඝාතනය වන්නේ නිට්ටඹුව නගරයේදී. එම අවස්ථාවේදී එහි සිටි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතු ජංගම දුරකතනයද පැහැර ගැනීමකට ලක්ව තිබුණි.  එම ජංගම දුරකතනයද අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිට්ටඹුව සහ රන්පොකුණු ගම පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන්නන්ය. 

අතුකෝරාල මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 38 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අයගෙන් 37 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.