කුණු මාළු කිලෝ 35,000ක් සමඟ දෙදෙනෙක් දැලේ

මිනිස් පාරිභෝජනයට නුසුදුසු කෙලවල්ලා සහ බලයා මාළු කිලෝ 35,100ක් සමඟ තිදෙනෙක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මාළු කිලෝ 29,700ක් තිබී ඇත්තේ මීගමුවේ බසියාවත්තේ පිහිටි ශීතාගාරයක පුරවාය. ඉතිරි මාළු කිලෝ 5,400ක් තිබී ඇත්තේ සීදූවේ මාළු බෙදා හරින තොග වෙළෙන්දෙක් සතුවය. භාවිතයෙන් ඉවත් කළ මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු සීදූවේ තොග වෙළෙන්දා විසින් අලෙවි කරන බවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ වැටලීම කර තිබෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහාය ඇතිවය.

මුලින්ම පොලිසියේ වැටලීමට ලක්ව ඇත්තේ සීදූවේ පිහිටි තොග වෙළෙඳ මධ්‍යස්ථානයයි. මිනිස් පාරිභෝජනයට නුසුදුසු එම මාළු තොගයක් එහි රැගෙන විත් තිබී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද ඒ සඳහා ලබාගෙන තිබේ. ඒ වන විට ලොරි රථයේ මාළු කිලෝ 5,400ක් තිබී ඇති අතර, එම මාළු මිනිස් පාරිභෝජනයට නුසුදුසු බව පරීක්ෂාවකින් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිසියට දැනුම් දී ඇත.

මේ ස්ථානයෙන් නිවාඩු නිකේතනවලටත්, හෝටල්වලටත්, අවන්හල් වෙතත්, සුපිරි වෙළෙඳසල් වෙතත් මාළු තොග බෙදා හරින බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම ලොරි රථයේ තිබුණු මාළු තොගය සිය භාරයට ගත් පොලිසිය රියැදුරුත් රිය සහායකත් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මාළු තොගය රැගෙන පැමිණි ස්ථානය ගැන තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිසිය මීගමුවේ බසියාවත්තේ යම් ස්ථානයකට ගොස් ඇත. එම ස්ථානයේ ශීතාගාර බහලුම් 4ක ගබඩා කර තිබුණු මාළු තොග පරීක්ෂා කිරීමේදී ඒවාද මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වූ බවත් පොලිසිය කියයි. එම ශිතාගාර ගබඩාවේ මාළු කිලෝ 29,700ක් තිබී ඇති අතර, එම ගබඩාවට මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත් බවද පොලිසිය කියයි. එම ස්ථානයේ භාරකරු ලෙස කටයුතු කළ 47 වියැති පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.