උතුරු කොරියාවේ කොරෝනා අවසන්

උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් බවත්, එය උතුරු කොරියාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවත් එරට නායක කිම් ජොන් උන් පවසයි.

නායක කිම් ජොන් උන් ඊයේ (10) උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සාමාජිකයන් සහ විද්‍යාඥයන් හමුවී, ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙනි.

ඉන් අනතුරුව, මාධ්‍ය හමුවේ පෙනී සිටි කිම් ජොන් උන් කියා සිටියේ, ‘කොවිඩ් 19’ වසංගතය පරාජය කිරීමට හැකිවීම රටක් වශයෙන් උතුරු කොරියාව ලැබූ ජයක් බවය.

පසුගිය ජූලි 29 වැනිදා සිට මේ දක්වා උතුරු කොරියාවෙන් කිසිදු උණ රෝගියකු වාර්තා නොවන බව ද සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් නායක කිම් ජොන් උන් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

‘කොවිඩ් 19’ වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයෙනි. චීනය උතුරු කොරියාවේ එක් අසල්වැසියකු පමණක් නොව, බටහිර සම්බාධක හමුවේ උතුරු කොරියාව සබඳතා පවත්වන එකම රට වන්නේ ද චීනයයි.

උතුරු කොරියාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පනවා ඇත්තේ, උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.

එම සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ද කඩා වැටීමකට ලක් වී ඇත. උතුරු කොරියාව මෙම 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට ‘කොවිඩ් 19’ වසංගතයකට මුහුණ දුන්නේ එවැනි තත්ත්වයක් යටතේය.

2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ වසංගතය 2020 වසර වෙද්දී ලොව පුරා ව්‍යාප්ත විය.

එසැණින්, උතුරු කොරියාව සිය දේශසීමා වසා දමා, රට තුළ සිටි විදේශිකයන් ද ආපසු ඔවුන්ගේ රටවලට පිටත් කර හැරියේය. දේශසීමා ආරක්ෂාවට හමුදාව යෙදුවුණු අතර, අනවසරයෙන් උතුරු කොරියාවට ඇතුළු වන සියලු දෙනාට වෙඩි තබන බව ද පැවැසීය.

ඒ අනුව, එදා සිට මෙම වසරේ අප්‍රේල් මාසය තෙක් ‘කොවිඩ් 19’ ව්‍යාප්තියක් රටේ සිදු නොවිණි. මෙම අප්‍රේල් මාසයේ දී උතුරු කොරියාව පුරා ‘උණ රෝගයක්’ ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. මිලියන 4.8 ක් රෝගී කිරීමට එම ‘උණ රෝගය’ සමත් විය. 74 දෙනෙක් මියගියහ.

මෙම ‘උණ රෝගය’ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය ලෙස උතුරු කොරියානු සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ බව තහවුරු කළේය.

දුර්වල සෞඛ්‍ය පද්ධතියක් සහිත උතුරු කොරියාව ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන්නේ එන්නත් කිරීම් හෝ ‘කොවිඩ් 19’ ප්‍රතිකාර ඖෂධ හෝ කිසිවක් නොමැතිව බව ද පැවැසෙයි.

මේ අතර ඉතාමත් දියුණු සෞඛ්‍ය පද්ධතියක් ඇති දකුණු කොරියාව තවමත් ‘කොවිඩ් 19’ වසංගතයෙන් බැටකමින් සිටින බවත්, ‘කොවිඩ් 19’ මරණ අනුපාතය උතුරු කොරියාවට වඩා ඉහළ අගයක් ගන්නා බවත් පැවැසෙයි. දකුණු කොරියානුවන්ගෙන් සියයට 80 කට වඩා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් හිමිවී තිබේ

Leave a Reply

Your email address will not be published.