පාර්ලිමේන්තුව පවත්වන කාල සීමාවේ වෙනසක්

පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා සිට පෙ.ව 9.30 ට ආරම්භ කිරීමටත් දිවා විවේකය පැය භාගයකින් සීමාකොට ප.ව 12.30 සිට ප.ව 1.00 දක්වා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පසුගිය 10 වැනිදා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා යළි රැස්වීමටත්, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පෙ.ව 9.30 සිට 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇති බවද මහලේකම්වරයා පැවසීය.

එසේම පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන අගෝස්තු 30, 31, සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published.