පාස්කු වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේගෙන් ලක්ෂ 400ක පරිත්‍යාගයක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පවසනවා.
ඉකුත් පෙබරවාරි මාසයේ දී වතිකානුවේ කළ සංචාරයක දී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා තිබෙනවා.
ඒ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උන්වහන්සේ ද යුරෝ ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ හාර සියයක පමණ මුදලක් පරිත්‍යාග ලෙස ලබා දුන් බව යි ජූඩ් ක්‍රිසාන්ත පියතුමා සඳහන් කරන්නේ.
එම මුදලින් කොටසක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කාණ්ඩ තුනක් ලෙස වෙන් කොට හෙට (13) දිනයේ දී කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දීත් අනිද්දා දිනයේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දීත් අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන බව සඳහන්.
මේ මූල්‍යාධාර ලබා දීමේ දී පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන්, එම ප්‍රහාරයට ලක් ව තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන පිරිස් වෙනුවෙන් හා එම ප්‍රහාරයෙන් තුවාල ලබා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද උන්වහන්සේ අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published.