කැරම් සම්මේලනයට අයත් රු. මිලියන 5කට වැඩි බඩුභාණ්ඩ දෙල්කඳ හන්දියේ ගොඩනැඟිල්ලක හිරකරගෙන

කුලිය ගෙවා නැතැයි ගොඩනැඟිල්ලේ හිමිකරුගෙන් චෝදනා

ශ්‍රී ලංකා කැරම් සම්මේලයට අයත් රුපියල් මිලියන 5කට අධික වටිනාකමින් යුතු කැරම් බෝඩ් 60කට අධික ප්‍රමාණයක් සහ තවත් උපකරණ රැසක් නුගේගොඩ දෙල්කඳ හන්දියේ පිහිටි ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ රඳවා තබා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කළේය. පසුගිය කාලයේ කැරම් සම්මේලනයේ හිටපු නිලධාරින් විසින් කුලියට ගෙන කැරම් සංගම් මූලස්ථානය ලෙස පවත්වාගෙන යනු ලැබූ බව කියන එම ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලට අයවිය යුතු කුලිය මාස ගණනාවක් නොලැබූ බැවින් ගොඩනැඟිල්ලේ හිමිකරු කැරම් බෝඩ්, සෙසු උපකරණ සහ කැරම් සම්මේලනයට අයත් වැදගත් ලිපිලේඛන සියල්ල මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කළේය. ලිපිලේඛනවලට අමතරව කැරම් බෝඩ් සමඟ ඒවා රඳවන උපකරණ, කැරම් ඉත්තන්, විදුලි පහන් සහ එහි ආවරණ, ස්ටූල් විශාල ප්‍රමාණයක් මේ අතර ඇතැයි වාර්තා වේ.

දූෂණ වංචා චෝදනා හේතුවෙන් පසුගිය වසරේ ජූලි මාසයේදී කැරම් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කිරීමෙන් පසු එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන් මහතා අදාළ බඩුභාණ්ඩ එම වසරේ අගෝස්තු මස 11 දිනට පෙර අමාත්‍යාංශයට බාර දෙන ලෙස හිටපු නිලධාරීන්ට ලිඛිතව දන්වා තිබුණද ඔවුන් එම නියෝගය පැහැර හැර ඇත. අනතුරුව මේ වසරේ ජූනි මාසයේදී පැවැති කැරම් සම්මේලනයේ නිලවරණයෙන් පත් වූ නව නිලධාරී මණ්ඩලයට එම බඩුභාණ්ඩ සති දෙකක් ඇතුළත ලබාදීමේ වසර 50ක කැරම් සම්මේලනයේ සම්ප්‍රදායක රීතිය ද හිටපු නිලධාරීන් උල්ලංඝනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ අමල් එදිරිසූරිය මහතාගේ මැදිහත්වීමෙන් පසුගියදා කැරම් සම්මේලනයට ටොරින්ටන් චතුරස්‍රය අසළ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ගොඩනැඟිල්ලේ ශාලාවක් ඔවුන්ගේ මූලස්ථානය ලෙස පවත්වාගෙන යෑමට ලිඛිත අවසරය ලැබී තිබුණද, ඒ සඳහා අවශ්‍ය බඩුභාණ්ඩ හා ලිපිලේඛන තවමත් නුගේගොඩ දෙල්කඳ හන්දියේ පිහිටි පැරැණි මූලස්ථානයෙන් මුදා ගැනීමට නොහැකි වීමෙන් වත්මන් නිලධාරී මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ ගැටලුව හේතුවෙන් ලබන ඔක්තෝබර් මාසයේ මැලේසියාවේ පැවැත්වීමට නියමිත කැරම් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම් සිදු කිරීමට ජාතික මට්ටමේ කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව අහිමි වී ඇති අතර, එය හිටපු නිලධාරීන් හිතාමතා සිදු කරමින් සිටින ක්‍රියාවක් බවට ද ඇතැම් පාර්ශ්ව සැක පහළ කර ඇත.

එවැනි සැකයක් මතු වී ඇත්තේ මේ වනවිට කැරම් සම්මේලනයේ බඩුභාණ්ඩ රඳවා තබා ඇති දෙල්කඳ හන්දියේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලේ හිමිකරු එම සම්මේලනයේ හිටපු තරගාවලි ලේකම්වරියගේ හිතවතකු වීම හේතුවෙනි. ඇගේ සැමියා ද කැරම් සම්මේලනයේ හිටපු උපලේකම්වරයකු බව වාර්තා වේ.

වසරක් පුරා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝග කඩ කරමින් කැරම් සම්මේලනයේ බඩුභාණ්ඩ බාරදීමේ වගකීම පැහැර හරිමින් සිටින එම සම්මේලනයේ හිටපු සභාපති හා ලේකම් ඇතුළු නිලධාරීන්ට පසුගිය කාලයේ දූෂණ වංචා හා අක්‍රමිකතා රැසක් සම්බන්ධව චෝදනා එල්ල වී තිබිණි.

Leave a Reply

Your email address will not be published.