දිරන්න දැමූ චීන දුම්රිය මැදිරි ගැන ඇමැති අණින් පරීක්ෂණ

පුත්තලම දුම්රිය ස්ථානය අසලට ගෙනැවිත් දමා ඇතැයි පැවසෙන රුපියල් කෝටි ගණනක් වටිනා චීන දුම්රිය මැදිරි දහය ගැන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නියමයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති විසින් මේ දුම්රිය මැදිරි ගැන කරුණු හෙළි කර ඇති අතර එම හෙළිදරව්ව ගැන වහාම වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස ද ගුණවර්ධන මහතා බලධාරීන්ට නියෝග කර තිබේ. මේ පුවත පිළිබඳ කළ විමසීමකදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ තමන් තවමත් ප්‍රවාහන අමාත්‍යාංශය භාරගෙන ගතව ඇත්තේ මාස දෙකක පමණ කාලයක් බැවින් මෙසේ අනාවරණය කර ඇති දුම්රිය මැදිරිවල අදාළ සිද්ධිය තමන් වෙත මෙතෙක් වාර්තා වී නොතිබූ බවයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ අදාළ නිලධාරීන් සමඟ පුත්තලමට ගොස් මේ දුම්රිය මැදිරි සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඒවා ධාවනයට එක් කිරීමට හැකි දැයි යන්න සොයා බලා ඊට අදාළ කඩිනම් පියවර ගන්නා බවද ඇමැතිවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළේය. රුපියල් කෝටි ගණනක් වටිනා චීන දුම්රිය මැදිරි 10ක් පුත්තලම දුම්රිය ස්ථානය අසලට ගෙන විත් දමා ඇති බවට දුම්රිය වෘත්තීය සමිති විසින් හෙළිකර ඇති අතර මෙසේ ගෙන විත් දමා ඇත්තේ 2009, 2010 වසරවලදි දුම්රිය දෙපාර්තමේන්තුවට චීනයෙන් මිලදී ගත් දුම්රිය මැදිරි බවද වාර්තා වේ.

මේ දුම්රිය මැදිරි මාස කිහිපයකට පෙර පුත්තලම දුම්රිය ස්ථානයට ගෙන විත් දමා තිබේ. මේ චීන දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ එවකට ප්‍රවාහන ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් 2009, 2010 වසරවලදී බවද වාර්තා වන අතර, ඒ සමයේ චීන දුම්රිය මැදිරි 100ක් ශ්‍රී ලංකාවට ගෙන විත් ඇති බවද දුම්රිය වෘත්තීය සමිති පවසයි. මේ දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර සිට දුම්රිය වෘත්තීය සමිති චීන දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය සම්බන්ධව පවතින ගැටලු සම්බන්ධව විරෝධය පා තිබුණද එය නොතකමින් දුම්රිය මැදිරි ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුවූ බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි. කෙසේ නමුත් එසේ රැගෙන ආ චීන දුම්රිය මැදිරි 100ක සංඛ්‍යාවෙන් මේ වන විට සුළු ප්‍රමාණයක් පමණක් ධාවනයට එක් කර තිබුණද විශාල මැදිරි සංඛ්‍යාවක් ධාවනයට නොගෙන ඉවත් කර ඇත්තේ රුපියල් කෝටි ගණනක් මුදල් රටට අහිමි කරමින් ඇති බව වෘත්තිය සමිති චෝදනා කරති.

දුම්රිය මැදිරි මෙසේ ඉවත් කිරීමත් සමඟ දුම්රිය මඟීන්ට බරපතළ අසාධාරණයක් කර ඇති බවත් රටට විශාල මුදලක් අහිමි කිරීම ගැන සියලු අංශ වගකිව යුතු බවත් ජනතාව පවසති.

මෙසේ භාවිතයට නොගෙන ඉවත් කර මේ වන විට පුත්තලමේ තිබෙන චීන දුම්රිය මැදිරි අතර දෙවැනි පන්තියේ වෙන් කළ ආසන සහිත මැදිරි දෙකක්ද ඇති ආකාරය දැක ගත හැකිය.

මේ මැදිරි දෙක ඇතුළු අනිකුත් මැදිරි මේ වන විටද ඇත්තේ භාවිත කිරීමට හැකි ඉහළම තත්ත්වයේ වන අතර, ඒවා මෙසේ ඉවත් කර තිබීම රටේ මුදල් විනාශ කිරීමක් බව ජනතාව චෝදනා නඟති. මේ මැදිරි තුළ ඇති ආසන හා අනෙකුත් පහසුකම්ද ඉහළ තත්ත්වයේ පවතින ආකාරය දැක ගත හැකිය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිටි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සංවිධානයේ ලේකම් එස්.පී. විතානගේ මහතා,

“මේ දුම්රිය මැදිරි රටේ මුදල් විනාශ කළා. දුම්රිය දෙපාර්තමේන්තුව කිසිම ලෙසකින් දුම්රිය මැදිරිවල අඩුපාඩුවක් නැති තත්ත්ව තුළදී තමයි දුම්රිය මැදිරි ගෙන්වීම කර තිබෙන්නේ.

මෙයට අමතරව මේ ආකාරයටම මැදිරි ඉන්දියාවෙන්ද රැගෙන ආවා.

මේ තරම් අති විශාල දුම්රිය මැදිරි සංඛ්‍යාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු යහපතක් නැහැ. මේ ආකාරයට දුම්රිය රටට ගෙන ඒම තුළින් කර ඇත්තේ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය බරක් පැටවීමයි.

ඒ නිසාමයි අපි මේ චීන දුම්රිය මැදිරිවල පවතින තිරිංග ගැටලුව පිළිබඳ දැන්වූවේ. මොකද අපේ තිරිංග පද්ධතියට මෙය ගැළපෙන්නේ නැති නිසා.

අද මේ මැදිරි කෝටි ගණන් වියදම් කරලා ගෙනත් පැත්තකට දාලා දිරන්න දමා ගිහින් යැයි ඔහු පැවසීය.

මේ පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලියු.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියෙ මෙවැන්නකි.

“මම මේ පිළිබඳ දැනුම්වත් නැහැ. මම වැඩ භාර අරගෙන දැනට සුළු දින ගණනක් පමණයි ගතව තිබෙන්නේ. ඒ නිසා මම ඒ ගැන සොයා බලා ගත හැකි ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published.