අවුරුදු 16 – 20 අතර තරුණ තරුණියන්ට ඉගෙන ගන්නා ගමන් අර්ධ කාලීන රැකියාවල නිරත වීමට අවස්ථාව

සතියකට පැය විස්සක උපරිමයකට යටත්ව වයස අවුරුදු 16 – 20 අතර තරුණ තරුණියන්ට අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගනිමින් සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබඳ හැඟීමක් නිර්මාණය කිරීම, කිසිදු රැකියාවක් කිසිදු පදනමකින් වෙනස් කොට නොසැලකීමට හුරු කරවීම සහ පාසල් වියේදී ම තරුණ තරුණියන් වැඩ පරිසරයට හුරු කර වීම සහ එසේ නොවීම කම්කරු ක්ෂේත්‍රයේ මතුව ඇති බොහෝ ගැටලුවලට හේතුව බව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

ඒ අනුව, ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම ත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන්ට පාසල් වියේදී ම හුරු කරවීම ත්, අධ්‍යාපන කටයුතුවලදී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීම ත් අරමුණු කර ගනිමින් මෙම සංශෝධන සිදු කිරීම කෙරෙහි අමාත්‍යංශ අවධානය යොමු වී ඇත.

එම සංශෝධනය අනුව අදාළ වයස් සීමාවේ සිටින තරුණ තරුණියන්ට දිනකට පැය හතරක උපරිමයකට යටත්ව සතියේ දින පහක් හෝ සතියට පැය විස්සක උපරිමයකට යටත්ව සති අන්තයේ ත් රැකියාවන්හි නිතර වීමට අවකාශ සැලසෙනු ඇක.

දැනට හඳුනාගෙන ඇති අනතුරුදායක රැකියා කාණ්ඩ හැත්තෑ දෙකෙන් පරිබාහිරව අවහන්හල්, සුපිරි වෙළෙඳ සල්, පිරිසුදු කිරීම් ආශ්‍රිත අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට අවස්ථාව සැලසෙන අතර, අදාළ සේවා යෝජකයන් මෙම තරුණ තරුණියන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්ය වේ.

කිසිදු අවස්ථාවක ස්ථිර රැකියා අවස්ථා ලබා නොදීමට ත්, නිසි පරිදි වැටුප් ගෙවීම්, ආරක්ෂාව සහ ගරුත්වය ලබා දීම ත් සේවා යෝජකයාගේ වගකීම වේ.

එසේ ම මෙයට අනුරූපව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීම් සම්බන්ධ නෛතික තත්ත්වයන් ද සංශෝධනය කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.