පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනපති මන්දිරයෙන් අතුරුදන් වූ භාණ්ඩ ලැයිස්තුව ඉල්ලයි

ජනාධිපති මන්දිරයේ තිබී විනාශ වූ සහ සොරකම් කරන ලද භාණ්ඩ පිළිබඳ ලැයිස්තුවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබෙනවා.
බස්නාහිර පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ශ්‍යාමිලා රාජපක්ෂගේ, මූලිකත්වයෙන් යුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එහි හානි වූ භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුත්ත මේ දිනවල සිදු කරනවා.
ජනාධිපති මන්දිරයේ සෑම අංශයකටම ගොස් එම භාණ්ඩ ලේඛනගත කිරීම් සිදු වන අතර මේ වන විට ඉන් සියයට 75 ක පමණ අවසන් වී ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර, කොළඹ ගාලුමුවදොර පිටිය අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. වසර කිහිපයකට පෙර තරු පන්තියේ හෝටලයක් ඉදි කිරීම සදහා සිදුකළ කැණීමකදී හමුවූ ඉංග්‍රීසි පාලන සමයට අයත් විශාලතම කාලතුවක්කුවේ අනුරුවකුයි මෙලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ.
කැනීම්වලින් සොයාගත් කාලතුවක්කුව මේ වන විට ත්‍රිකුණාමලය සමුද්‍ර කෞතුගාරයේ තැන්පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.