පාසල් ආධුනික ක්‍රීඩකයෝ අද සුගතදාස පිහිනුම් තටාකයට

ආධුනික පිහිනුම් ක්‍රීඩකයන්ට ජාතික තලයේ ක්‍රීඩාවට අවතීර්ණ වීමේ අවකාශ සලසා දෙමින් ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 14 වැනි වරට සංවිධාන කරන ශ්‍රී ලංකා පාසල් ආධුනික පිහිනුම් සහ කිමිදුම් තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී අද (13) ආරම්භ වෙයි.

අද සහ හෙට පැවැත්වෙන තරගාවලියේ ඉතිරි කොටස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කොරෝනා වසංගතයෙන් බාධා වීමෙන් 2020 වසරේ මාර්තු මස අතරමඟ නැවතීමෙන් අනතුරුව මේ තරගාවලිය වසර 2කට පසුව පැවැත්වීම විශේෂත්වයක් වන අතර, රට තුළ බිම් මට්ටමේ ක්‍රීඩා සඳහා සහාය දැක්වීමේ අරමුණින් මෙවර තරගාවලිය සඳහා නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රාහකත්වය දෙයි.

ආරම්භක මට්ටමේ පාසල් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කිමිදුම්කරුවන් තරගකාරී පරිසරයට හුරු කිරීමේ අරමුණින් සංවිධාන කරන මේ තරගාවලියට බාලක බාලිකාවෝ 5000කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත අතර, ඔවුන් අවුරුදු 10න් පහළ සිට 20න් පහළ දක්වා වයස් කාණ්ඩ 6ක් යටතේ තරග වැදීමට නියමිතය.

ඒ අනුව අද සහ හෙට බාලිකා ඉසව් පැවැත්වෙන අතර, බාලක තරග ඉසව් 19 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. 20-21 දෙදින කිමිදුම් තරග පැවැත්වීමට නියමිතය.

මේ සියලු වයස් කාණ්ඩ සඳහා පිහිනුම් ඉසව් 5ක්, සිව්පහර මීටර් 50 තරගය සහ මීටර් 200 කේවල මිශ්‍ර තරගයක් පැවැත්වෙන අතර, කිමිදුම් තරගයට ඇත්තේ එක් ඉසව්වකි.

මේ තරගාවලියේ සෑම ඉසව්වකම මුල් ස්ථාන 8 හිමි කර ගන්නා තරගකරුවන් සමස්ත ලංකා වයස් කාණ්ඩ ආධුනික පිහිනුම් තරගාවලියට සුදුසුකම් ලබන අතර, අවුරුදු 14, 16, 18 සහ 20න් පහළ වයස් කාණ්ඩවල මුල් ස්ථාන 3 සඳහා පදක්කම් පිරිනැමෙනු ඇත. අවුරුදු 10 සහ 12 වයස් කාණ්ඩ සඳහා පදක්කම් පිරිනැමීමක් සිදු නොවන අතර, මුල් ස්ථාන 8 සඳහා සහතික පත් හිමි වෙයි.

අවසන් වරට 2020 වසරේ මාර්තු මස පැවති 13 වැනි ශ්‍රී ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලිය බාලිකා ඉසව්වලට පමණක් සීමා වූ අතර, එහි කණ්ඩායම් ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට කොළඹ විශාකා විදුහල සමත් විය. කොරෝනා වසංගතයේ පැතිරීම හේතුවෙන් එවර බාලක තරග ඉසව් පැවැත්වීමට නොහැකි වූ අතර, 2019 වසරේ පැවති බාලක කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය.

Leave a Reply

Your email address will not be published.