ඩුබායි ඉඳන් මිනී මරපු ‘හරක් කටා’ ඇස් දෙකෙන් ඇල්ලූ හැටි

සංවිධානාත්මක ප්‍රබල අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට කොටු වූයේ ඔහු සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඇස්දෙකේ පුංචි වෙනසක් නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

හරක් කටා මෑතකදී සකසන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක ඡායාරූප සහිත විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් පසුගිය දා ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව ඩුබායි ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් වී තිබේ.

මේ බව නොදන් හරක් කටා සිය බිරිය සමග ඩුබායි ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ මැලේසියාවට ගොස් ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව බලා යාමට බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ්‍යය වී ඇත.

එහෙත් ඔහුගේ ගමන් බලපත්‍රයේ සටහන් රූපය හොඳින් නිරීක්ෂණය කළ ඩුබායි ආගමන විගමන නිලධාරින්ගේ එහි ඇති හරක් කටාගේ ඡායාරූපයේ ඇති ඇස්වල තිබූ වෙනස්භාවය දැක ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව අනාවරණය කරගෙන තිබේ.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ හරක් කටා සහ බිරිය ඩුබායිවල අත්අඩංගුවට පත්වුව ද ඩුබායි ජාත්‍යන්තර පොලිස් ශාඛාව ඒ බව ලිඛිතව මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත දැනුම් දී නැති බව ය.

එහෙත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉන්ටර්පෝල් ශාඛාව පැය 24 පුරා ම අවදියෙන් සිටිමින් හරක් කටා නමැත්තා මෙරටට ගෙන්වා ගැනීමේ දැඩි උත්සාහයක නිරතවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දකුණු පළාතේ මෙන් ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන කිහිපයක් ම හරක් කටාගේ මෙහෙයවීම මත සිදුවූවක් බවට අනාවරණය වී ඇති අතර මෙරට අධිකරණය මගින් ඔහුට රතු වරෙන්තු ද නිකුත් කර තිබිණි.

එමෙන් ම ඔහු ජාත්‍යන්තරය සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට මෙවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද ඩුබායි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත දැනුම් දී තිබිණි.

Leave a Reply

Your email address will not be published.