නාවුල ගමකින් වකුගඩු රෝගයක් ගිල ගනී

නාඋල පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී තවත් පුද්ගලයන් තිස් දෙනකු පමණ මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටින බව ගම්මු පවසති.

කොන්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කාන්තා ගොවි සංවිධාන නිළධාරින් කියා සිටියේ තම ගම්මානයේ මේ වන විටත් ජනතාව පානීය ජල අර්බුදයක මුහුණ පා සිටින බවයි.

ඇලෙන් දොලෙන් ළිංවලින් තම ගම්මු ජල අවස්ථාව සපුරා ගන්නා බවත් මේව වන විටත් ගමේ බොහෝ දෙනාට වයස අවුරුදු 20 ඉකුත් වෙද්දී විවිධ හදුනා නොගත් රෝගවලට ලක් වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

ජනතාව පවසන පරිදි මේ වන විටත් තම ගම්මානයේ දෙසීයකට අධික පිරිසක් වකුගඩු රෝගීන් ලෙස හඳුනාගෙන තවත් තිස් දෙනකු පමණ මේ වන විට වකුගඩු රෝගයෙන් මිය ගොස් තිබෙන බවද ඔවුහු පවසති.

කෙසේ වෙතත් මෙම ගම්මානයේ ජිවත්වන බොහෝ ජනතාව කිසිදු පරීක්ෂණයකට ලක් නොවී විවිද රෝගයන්වලට ප්‍රතිකාර ගන්නා බව කියති.

මෙම ග්‍රාම සේවා වසම අවට ඇති මාරාගමුව , හැළඹගහවත්ත, බඹර ගහවත්ත, මිල්ලගහමුල තැන්න, ආදී ගම්මානවල ජනතාව ද මේ ආකාරයෙන් ම හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටින බව මෙම ජනතාව ද පෙන්වා දෙති.

කාන්තා ගොවි සංවිධානයේ ඉල්ලීම් පරිදි මෙම වෛද්‍ය සායනය සඳහා පැමිණි කොන්ගහවෙල වෛද්‍ය නිලධාරි කාර්යාලය නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ ජනතාවගේ ඉල්ලීම් ඉතා සාධාරණ බවත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම් සඳහා මෙන්ම වකුගඩු සායනවලට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රජය මගින් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන නිසා ජනතාවගේ පරිත්‍යාගවලින් මෙම කටයුතු සිදු කිරීමට තමන් දැඩි වෙහෙසක් දරන බවය.

මීට පෙර තමා සේවය කළ පොලොන්නරුව ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා ගත් වෛද්‍ය උපකරණ කිහිපයකින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ක්‍රියා කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.